‘බයිපාස්’ සැත්කමට 9,600 ක් පෝලිමේ

(ඔගස්ටා පෙරේරා) කොළඹ ජාතික රෝහලේ ‘බයිපාස්’ හෘද සැත්කම් සඳහා පුද්ගලයන් 9,600 ක පමණ දිගු පෝලිමක් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. එවැනි දිගු පෝලිමක් පැවතීම හේතුවෙන් එක් අයකුට එම සැත්කම කරගැනීමට වසර පහක් පොරොත්තු ලේඛනයේ රැඳීසිටීමට සිදුවන බව ද අමාත්‍යවරයා කීය. ‘එන්ජියෝග්‍රෑම්’ පරීක්ෂණ සඳහා පුද්ගලයන් 5,000 ක් පෝලිමක් සිටින බවත් ඒ අනුව එක් පුද්ගලයකුට එම පරීක්ෂණය සඳහා මාස හයක් බලා සිටීමට සිදුවන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය. මෙරට පුද්ගල මරණවලින් සියයට 80 ක් පමණ බෝනොවන රෝගවලින් සිදුවන බව කී අමාත්‍ය වෛද්‍ය  නලින්ද ජයතිස්ස මහතා එම මරණවලින් සියයට 34 ක් පමණ හෘදයවස්තුව හා සම්බන්ධ රෝග හේතුවෙන් වාර්තා වන බව ද සඳහන් කළේය. පිරිමින් වැඩි පිරිසක් හෘදයාබාධ හේතුවෙන් ද, කාන්තාවන් වැඩි පිරිසක් ආඝාතය හේතුවෙන් ද මරණයට පත්වන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.