(ෂෙවෝන් ප්රනාන්දු)
ශ්රී ලංකා විස්සයි20 ක්රිකට් පිල සිම්බාබ්වේට එරෙහිව පැවැති තරග තුනකින් සමන්විත විස්සයි20 ක්රිකට් තරගාවලිය 2-1 ක් ලෙස ජය ලැබීමට ඊයේ (18) සමත් විය.
ශ්රී ලංකා ක්රීඩකයෝ කොළඹ ආර්. ප්රේමදාස ක්රීඩාංගණයේදී පැවැති අවසන් තරගයේදී කඩුලු 9 කින් ජය ලබමින් තරගාවලියේ ජය තහවුරු කරගැනීමට සමත් වූහ.
ශ්රී ලංකා පිල ලකුණු 83 ක ඉලක්කය ඕවර 10.5 කදී කඩුල්ලක් පමණක් දැවී සම්පූර්ණ කළේය. එහිදී පැතුම් නිස්සංක නොදැවී ලකුණු 39 ක් ද, කුසල් මෙන්ඩිස් ලකුණු 33 ක් ද, රැස්කිරීමට සමත් වූහ.
නායක වනිඳු හසරංග ඇතුළු ශ්රී ලංකා පන්දු යවන්නෝ පළමුව පන්දුවට පහර දුන් සිම්බාබ්වේ ඉනිම ඕවර 14.1 කදී ලකුණු 82 කට සිමා කළහ. එහිදී වනිඳු ලකුණු 15 කට කඩුලු 4 ක් දවාගනිමින් පන්දුවෙන් දස්කම් දැක්වීය.
වනිඳු හසරංග තරගයේ වීරයා සම්මානය ද හිමිකර ගත්තේය.
වසරකට අධික කාලයකට පසුව විස්සයි20 කණ්ඩායමේ ස්ථානය හිමිවූ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස් තරගාවලියේ වීරයා ලෙස සම්මාන ලැබීය.
සිම්බාබ්වේ පිල මෙම තරගාවලියේ දෙවැනි තරගයේදී කඩුලු 4 කින් ජය ලබමින් ඉතිහාසයේ පළමු වරට විස්සයි20 තරගයේදී ශ්රී ලංකාව පරාජය කිරීමට සමත් විය.


