විදුලි බිල දැනෙන්න අඩුවෙයි


(සාලිය සමන්)
විදුලි ගාස්තු සියයට 21.9 කින් අඩු කළ බව මහජන උපයෝගිතා කොමිසම අද (4) පස්වරුවේ නිවේදනය කළේය.
එම විදුලි ගාස්තු සංශෝධනය අද (4) මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බව ද එම කොමිසම කීය.  
ඒකක 30 ට අඩු කාණ්ඩයේ ගාස්තුව සියයට 33 කින්, ඒකක 31ත් 60ත් අතර කාණ්ඩයේ ගාස්තුව සියයට 28 කින්, ඒකක 61ත් 90ත් අතර කාණ්ඩයේ ගාස්තුව සියයට 30 කින්, ඒකක 91ත් 180ත් අතර කාණ්ඩයේ ගාස්තුව සියයට 24 කින් සහ ඒකක 180 ට වැඩි ගෘහස්ථ කාණ්ඩය ගාස්තුව සියයට 18 කින් අඩු කළ බව කොමිසම සඳහන් කළේය.
ආගමික ස්ථානවල ගාස්තුව සියයට 33 කින්, හෝටල් සහ කර්මාන්ත අංශවල ගාස්තුව සියයට 18 කින්, පොදු කාර්ය කාණ්ඩයේ ගාස්තුව සියයට 23 කින්, රාජ්‍ය අංශයේ ගාස්තුව සියයට 22 කින් සහ වීථි ලාම්පු ගාස්තුව සියයට 20 කින් අඩු කළ බව ද කොමිසම පවසයි.
එහිදී ඒකක 30 ට අඩු කාණ්ඩයේ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 180 සිට 150 දක්වා අඩු කර එහි ඒකක මිල රුපියල් 12 සිට රුපියල් 8 දක්වා ද, ඒකක 31ත් 60ත් අතර කාණ්ඩයේ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 360 සිට 300 දක්වා අඩු කර ඒකක මිල රුපියල් 30 සිට රුපියල් 20 දක්වා ද, අඩු කළ බවත් ඒකක 61ත් 90ත් අතර කාණ්ඩයේ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 480 සිට 400 දක්වා අඩු කර එහි පළමු ඒකක 60 දක්වා ඒකක මිල රුපියල් 38 සිට රුපියල් 25 දක්වා ද, ඒකක 60 සිට 90 දක්වා ඒකක මිල රුපියල් 41 සිට රුපියල් 30 දක්වා ද, අඩු කළ බවත්  විදුලි ඒකක 91 සිට 120 දක්වා කාණ්ඩයේ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 1,180 සිට රුපියල් 1,000 දක්වා අඩු කර එහි ඒකක මිල රුපියල් 59 සිට රුපියල් 50 දක්වා ද, ඒකක 121 සිට 180 දක්වා කාණ්ඩයේ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 1,770 සිට 1,500 දක්වා අඩු කර එහි ඒකක මිල රුපියල් 59 සිට රුපියල් 50 දක්වා ද, ඒකක 180 ට වැඩි ගෘහස්ථ කාණ්ඩයේ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 2,360 සිට 2,000 දක්වා අඩු කර එහි ඒකක මිල රුපියල් 89 සිට රුපියල් 75 දක්වා ද, අඩු කළ බවත් මහජන උපයෝගිතා කොමිසම පැවසීය.   

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.