ඖෂධ – උපකරණ දැඩි හිගයක්

(ඔගස්ටා පෙරේරා) රෝගීන්ට අවශ්‍ය උපකරණ සහ ඖෂධ රෝහල්වලට විධිමත්ව සපයා නොමැති යැයි වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමය සෞඛ්‍ය ඇමතිවරයාට යොමු කළ ලිපියකින් තහවුරු වන බව සෞඛ්‍ය වෘත්තීවේදීන්ගේ විද්වත් සංගමය පවසයි. එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා කොළඹ අද (24) පැවති මාධ්‍ය හමුවකදී  එසේ පැවසීය. රෝහල්වල ඖෂධ නොමැති නම් රෝගීන් ලවා පිටතින් ගෙන්වා ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ නීතියක් වන ලකුණු පහළ වෙමින් ඇති බවත් වෛද්‍ය විශේෂඥයන්ගේ සංගමය යොමු කළ ලිපිය මගින් සෞඛ්‍ය ඇමතිවරයාගෙන් ප්‍රශ්න පහක් සදහා පිළිතුරු ඉල්ලා ඇති බවත් ඒ මහතා කීය. ඒ අනුව රෝගියාට හෝ ඥාතියාට බෙහෙත් වට්ටෝරු පිටතින් ගන්න කියන්න පුළුවන්ද, මෙම දේවල් මිලදී ගන්න පුළුවන් ස්ථාන දැනුම්දෙන්න පුළුවන්ද, බාහිර රෝගී අංශවලට එන අයට වට්ටෝරු දිය හැකිද? නැත්තං ඒකට සෞඛ්‍ය පරිපාලක අනුමැතිය අනිවාර්යද, රෝහල්වල නොමැති රසායන පරීක්ෂණ පිටතින් කරවන්න වට්ටෝරු දිය හැකිද සහ ඖෂධ, උපකරණ, පරීක්ෂණ නොමැති බව රෝගියාට හෝ ඥාතීන්ට  දන්වන්න පුළුවන්ද එම ප්‍රශ්න පහ බව ද ඔහු සඳහන් කළේය. එවන් තත්ත්වයක් තිබියදී පවා, රෝගීන් ලවා විවිධ ද්‍රව්‍ය බාහිර ආයතනවලින් මුදලට ගෙන්වා ගැනීමේ කිසිදු බාධාවක් නොමැති බවට නියෝජ්‍ය සෞඛ්‍ය ඇමති හංසක විජයමුණි ප්‍රකාශ කර තිබු බවද කුමුදේශ් මහතා සඳහන් කළේය. ඖෂධ මිල පාලනය සහ සැපයීම් විධිමත් කිරීම සඳහා මිල කමිටු පිළිබඳව ගැටලුව විසඳුවා යැයි හංසක විජේමුණි ඇමතිවරයා කිව්වට ඒක වෙනත් විදිහකින් ඉස්සරහට ගේන්න මේ වෙලාවේ උත්සාහ කරමින් සිටින බව කී රවී කුමුදේශ් මහතා අත්‍යවශ්‍ය ඖෂධ සැපයීම සඳහා තෝරාගැනීමේදී සමාගම් කිහිපයකට ප්‍රමුඛතාවය දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වූ බව ඖෂධ සමාගම් කිහිපයක් ඇතුළත් සංගමයක් සෟඛ්‍ය අමාත්‍යවරයාට යොමු කර ලිපියක සඳහන්ව ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.   සෞඛ්‍ය අමාත්‍යංශය එවන් පොරොන්දුවක් දී ඇත්නම් නැවත මිල කමිටු දෙකකදී ඇතිවෙන තත්වයම ඇතිවන අතර සමාගම් කිහිපයකට අවශ්‍ය පරිදි මිල නියම කිරීමේ හැකියාව ලැබෙන බවත් යම් ඖෂධයක් සඳහා එක සමාගමක් මත සෞඛ්‍ය අමාත්‍යාංශයට යැපෙන්නට සිදුවීම හේතුවෙන් වරින්වර ඖෂධ හිඟයන් නැති වීම ද වළක්වා ගැනීම අසීරු බවත් ඒ මහතා වැඩි දුරටත් කීය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.