බීඩි මිලත් ඉහළ යයි

  • බදු රදාගන්න බෑ
(සාලිය සමන්) බීඩි මිල ඉහළ දමන බවත් නව මිල හෙට (10) සිට ක්‍රියාත්මක වන බවත් සමස්ත ලංකා බීඩි නිෂ්පාදකයන්ගේ සංගමය පැවසයි. මෙම මිල ඉහළ දැමීමත් සමග අගල් දෙකයි කාල බීඩියක මිල රුපියල් 15 ක් දක්වා ද, අඟල් දෙක ප්‍රමාණයේ සහ රතු නූල් බීඩියක මිල රුපියල් 13 ක් දක්වා ද, ඉහළ යන බවත් අගල් දෙකයි කාල බීඩියක මිල රුපියල් 10 ක ද, අඟල් දෙක සහ රතු නූල් බීඩියක මිල රුපියල් 9.50 ක ද, මීට පෙර පැවැති බවත් එම සංගමය කීය. බීඩියක් සඳහා පැවැති රුපියල් 2 ක බද්ද මෑතකදී රුපියල් 3 ක් දක්වා ඉහළ දැමීම සහ සෙසු වියදම් ද ඉහළ යෑම නිසා නිෂ්පාදන පිරිවැය ඉහළ යෑමෙන් බීඩි මිල ඉහළ දැමීමට සිදුවූ බව එම සංගමය සඳහන් කරයි. බීඩියක නිෂ්පාදන වියදම රුපියල් 13.75 ක් පමණ වුවද පසුගිය කාලයේ එම වියදමට අඩු මිලකට බීඩියක් වෙළඳපොළට සැපයීමෙන් කර්මාන්තය පවත්වාගෙන යාමට නොහැකි තත්වයක් උදාවී ඇති බව කී එම සංගමය රජයට නිසි පරිදි බදු ගෙවීමට නම් බීඩි මිල ඉහළ දැමීම අනිවාර්යෙන්ම කළ යුතු බව ද සඳහන් කළේය. බීඩි කර්මාන්තයේ ප්‍රධානම අමුද්‍රව්‍ය වන ⁣’තෙන්දුකොළ’ හෙවත් බීඩිකොළ නීති විරෝධීව මෙරටට ගෙන ඒම වැළැක්වීමට බලධාරීන් අසමත්ව සිටීම නිසා බීඩි කර්මාන්තය තවදුරටත් අවිනිශ්චිත තත්වයකට පත්ව තිබෙන බවත් සියලුම බීඩි ව්‍යාපාරිකයන් මෙම නව මිලට හෙට (10) සිට බීඩි අළෙවි නොකරන්නේ නම් ඒ පිළිබඳ රජයේ අවධානය යොමුවිය යුතු බවත් එම සංගමය කීය. බීඩිකොළ සම්බන්ධයෙන් පවතින නීති විරෝධී තත්වය මගහරවා ගැනීමට මැදිහත් වන ලෙස වර්තමාන රජයෙන් ද ඉල්ලීම් කර ඇති බව ද සමස්ත ලංකා බීඩි නිෂ්පාදකයන්ගේ සංගමය වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.