මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල ඝාතනයේ තීන්දුව අද

(සාලිය සමන්) අරගලය සමයේ 2022 වසරේ මැයි මස 9 වැනිදා නිට්ටඹුවේදී ඝාතනයට ලක්වූ පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා සම්බන්ධ නඩුවේ තීන්දුව ගම්පහ මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල අද (14) ප්‍රකාශයට පත්කිරීමට නියමිතය. මෙම සිද්ධියට අදාළ චුදිතයින් 41 දෙනකු සඳහා එලෙස නඩු තීන්දුව ලබාදීමට නියමිතය. ඉකුත් 2022 මැයි මස 09 වැනිදා නිට්ටඹුව නගරයේදී පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා වූ පොලිස් සැරයන් අහංගම විතාරනලාගේ ජයන්ත ගුණවර්ධන යන දෙදෙනා ඝාතනය කිරීම ඇතුළු අධිචේදනා 14ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව නිතිපතිවරයා විසින් ගම්පහ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබ තිබේ. මෙම නඩුවට අදාල විත්තිකරුවන් 41 ක් පොලිසිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ අතර පසුව එක් සැකකරුවකු නිදහස් කර ඇති අතර සැකකරුවන් දෙදෙනකු බන්ධනාගාරයේදී මියගොස් තිබේ. සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි හා රසන්ත ගොඩවෙල යන මහාධිකරණ විනිසුරුවරුන් හමුවේ මෙම නඩුව විභාගයට ගැනුණු අතර එහිදී විත්තියේ දේශන අවසන් කිරීමෙන් අනතුරුව මෙම තීරණය ප්‍රකාශයට පත් කර තිබුණි. මෙම නඩුවේ 13 හා 31 යන විත්තිකරුවන් මියගොස් ඇති අතර 39 හා ‍40 යන විත්තිකරුවන් අධිකරණය මගහැර විභාගයට ඉදිරිපත් වී නොමැත. ඒ අනුව විත්තිකරුවන් 37 දෙනෙකුට එරෙහිව මෙම තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.