රුමේෂ් ලෝකයම හොල්ලයි


(ෂෙනික ගමගේ)
ජාත්‍යන්තර මලල ක්‍රීඩා සම්මේලනය පළමු වරට සංවිධානය කළ ලෝක මලල ක්‍රීඩා පිටියේ ප්‍රබලතම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහභාගිත්වයෙන් හංගේරියාවේ බුඩාපෙස්ට් නුවර පැවැති ලෝක මලල ක්‍රීඩා අල්ටිමේට් ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ ඉසව්වේ පළමු ස්ථානය දිනා ගැනීමට ශ්‍රී ලංකා හෙල්ල විසිකිරීමේ ශුරයා වන රුමේෂ් තරංග සමත් විය.
රුමේෂ් එහිදී මීටර 91.09ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමින් පළමු ස්ථානය හිමිකර ගැනීමට සමත් විය.
රුමේෂ් හෙල්ල විසිකිරීමේ පිරිමි සව්වේ මෙම වසරේ මේ දක්වා ඉහළම දක්ෂතාව ප්‍රදර්ශනය කළ ක්‍රීඩකයා වන අතර 23 හැවිරිදි ඔහු රෝම ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලියේදී මීටර 92.62ක දක්ෂතාවක් දක්කමින් එම ඉසව්වේ ලෝක ශ්‍රේණිගත කිරීමේ අංක එක ක්‍රීඩකයා බවට ද පත්විය.
මෙම ජයග්‍රහණයත් සමඟ  රුමේෂ්   ලෝක මලල ක්‍රීඩා පිටියේ තවත් සුවිශේෂී ජයග්‍රහණයක් සටහන් කළ අතර ඔහුගේ මෙම දක්ෂතාවය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණයක් බවට ද පත්විය.
ඉසව් 26කින් සමන්විතව ලොව ප්‍රබල ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වූ එම ක්‍රීඩා උළෙල දින තුනක් පැවැත්විණි.
රුමේෂ් තරංග, ජර්මනියේ ජුලියන් වෙබර්, ග්‍රැනඩාහි ඇන්ඩසන් පීටර්ස්, ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටුබැගෝහි කර්ශොන් වෝල්කොට් වැනි ක්‍රීඩකයන් එයි හෙල්ල විසිකිරීමේ ඉසව්වට සහභාගි වීම නිසා දැඩි අවධානයක් යොමුවී තිබුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.