හරීන් ශ්‍රී ලංකාව පාවා දුන්නාද ?


(ඔගස්ටා පෙරේරා)


ඉන්දියාවේ රාජ්‍යතාන්ත්‍රික කටයුත්තකට සහභාගි වූ සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ‘ශ්‍රී ලංකාව ඉන්දියාවේ කොටසක්’ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීම බරපතළ තත්වයක් බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.
හරීන් ප්‍රනාන්දුගේ ප්‍රකාශය අනුව ‘ලංකාව ඉන්දියාවේ කොටසක්‘ නම් ශ්‍රී ලංකාව තවදුරටත් ස්වෛරී රාජ්‍යයක් නොවන බවත් ආර්ථික අර්බුදය ඇතුළ ශ්‍රී ලංකාවේ ස්වෛරීත්වය ඉන්දියාව හමුවේ පාවාදීම වර්තමාන පාලක පැළැන්තිය කරගෙන යන බවත් ඒ මහතා කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩි දුරටත් මෙසේ ද පවැසීය.  
“අමාත්‍යවරයෙකු යම් රටකට ගිහින් තමන්ගේ රට ඒ රටේ කොටසක් කියා කරන ප්‍රකාශය බරපතළ නැද්ද? එහෙම ප්‍රකාශයක් කරන්න සදාචාරාත්මක හා නෛතික බලයක් ඔහුට තිබෙනවාද? පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරයකු ලෙස දිවුරුම් දෙන විට රටේ ඒකීයභාවය සහ ස්වෛරීභාවය සුරකින බවට දිවුරුම් දෙනවා. එය උල්ලංඝනය කරන්න කිසිදු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හැකියාවක් නෑ.
ශ්‍රී ලංකාව තුළ ඉන්දියානු වහල්භාවය කොතරම් බරපතළ ලෙස එළාගෙන යනවාද? එයට මේ ආණ්ඩුව සහ බලයට ඉව අල්ලන විපක්ෂ කල්ලි කණ්ඩායම් කොතරම් දුරට අවනත වී තිබෙනවාද?” යන්න එම ප්‍රකාශයෙන් පැහැදිළියි. ශ්‍රී ලංකාව ඉන්දියාවට ඈඳලා දෙන්න  ”හොඳම වෙලාව” ඇවිත් යැයි ඔවුන් සිතනවා.
මෙරට ගුවන්තොටුපළවල සහ වරායවල් ආදී සියල්ලම ඉන්දියාවට දෙන්නේ යැයි එම ප්‍රකාශයෙන් කියවෙනවා. ඉන්දියාව තුළ රාජ්‍යතාන්ත්‍රික කටයුත්තකදී ශ්‍රී ලංකාවේ අමාත්‍යවරයෙකු ‘ලංකාව ඉන්දියාවේ කොටසක්’ යැයි පැවසීම නිවට සහ නියාලු ක්‍රියාවක්. එම බරපතළ ප්‍රකාශය හමුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ‘රටේ ස්වෛරීත්වය රැක්කේ අපි’ කියා පවසන රාජපක්ෂවරු, විපක්ෂ නායකවරයා ඇතුළු බලයට ඉව අල්ලන විපක්ෂයේ අනෙකුත් කල්ලි කණ්ඩායම් කසාය බිව් ගොළුවන් සේ දත කට පූට්ටු කරගෙන සිටිනවා” යැයි එහිදී වීරවංශ මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.