ඇමති ගෝලයා පොලිසියට පහරදී සැකකරුවෙක් පැහැරගෙන ගිහිල්ලා


(ඔගස්ටා පෙරේරා)


බීමත්ව රිය පැදවූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරියෙක්ට පහර දී අත්අඩංගුවේ සිටි සැකකරු රැගෙන ගිය බව කියන වර්තමාන ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකුගේ පෞද්ගලික ලේකම්වරයෙක් යැයි කියන පුද්ගලයෙක් ඇතුළු දෙදෙනෙක් බදුල්ල මූලස්ථාන පොලිසිය අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
අදාල ඇමතිවරයා ශ්‍රී ලංකාව පිළිබඳව කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් මේ දිනවල කා අතරත් ජනප්‍රියව සිටියි.
බදුල්ල කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන් ඊයේ (22) අළුයම බදුල්ල නගරයේ රථ වාහන පරීක්‍ෂා කරමින් සිටියදී කාර් රථයක් පරීක්‍ෂා කිරීමේදී එහි රියදුරු බීමත්ව සිටින්නේ යැයි හදුනාගැනීමෙන් පසුව අදාල රථය සහ රියදුරු පොලිසියට ගෙනයෑමට සූදානම් වූ බවත් එම අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි ජීප් රථයක සිටි පුද්ගලයෙක් “උඹලා කොහොමද මූව ඇරස්ට් කරන්නේ යකෝ. මම අහවල් ඇමතිගෙ සෙකටි්‍ර අතඇරපන් ඌව” ලෙස කෑගසා ඇති බවත් එම පොලිස් නිලධාරියා කීය.
ඉන් නොනැවතුණු එම පුද්ගලයා බීමත් පුද්ගලයාගේ මෝටර් රථයේ සිටි සැරයන්වරයා බිමට ඇඳ දමා බීමත් පුද්ගලයා ද රැගෙන පලාගොස් ඇති බවත් ඉන් පසුව එම සිද්ධිය සම්බන්ධයෙන් පළමු බීමත් රිය පැදවූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඔහුගෙන් හෙළිවූ තොරතුරු මත ඇමතිවරයාගේ ලේකම් යැයි කියන පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත් එම නිලධාරියා සඳහන් කළේය.
අදාල ලේකම්වරයා පොලිස් රාජකාරියට බාධා කිරීම ඇතුළු චෝදනා රැසක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කරන බව ද එම පොලිස් නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.