(ෂෙනික ගමගේ)
ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර සිලාත්හිදී අද (6) පැවැති දෙවැනි විස්සයි20 තරගයෙන් බංග්ලාදේශ පිල කඩුලු 8 ක පහසු ජයක් ලැබීය.
එහිදී බංග්ලාදේශ ආරම්භක පිතිකරු සෞම්‍ය සාකර් උඩ පන්දුවක් දුන් බව පුනරූපනවලින් ද සනාථ වෙද්දී බංග්ලාදේශ ජාතික තෙවැනි විනිසුරු මසුදූර් රහමන් මහතා එය දැවී යෑමක් නොවන බවට තීරණය කිරීම සමස්ත ක්‍රිකට් ලෝකය පමණක් නොව බංග්ලාදේශ අනෙක් ආරම්භ පිතිකරු වූ ලින්ටන් දාස් ද පුදුමයට පත්කළේය.
සෞම්‍ය සාකර් ලකුණු 14 ක් රැස්කර සිටියදී බිනුර ප්‍රනාන්දු යැවූ ඉනිමේ සිවුවැනි ඕවරයේ පළමු පන්දුවට කඩුලු රකින කුසල් මෙන්ඩිස්ට උඩපන්දුවක් ලබාදී දැවී ගිය බවට ප්‍රධාන විනිසුරු තීරණය කළ අතර සෞම්‍ය සාකර් එම දැවී යෑම තෙවැනි විනිසුරුට යොමු කළේය.
නවීණ තාක්ෂණ පුනරූපන ද පන්දුව පිත්තේ වදින බවට පෙනි පෙනී තෙවැනි විනිසුරු එය දැවී නොගියේ යැයි සඳහන් කළේය. ඒ වන විට ක්‍රීඩාගාරය වෙත යමින් සිටි සාකර් නැවත පන්දුවට පහර දුන්නේය.
එම තීරණය සම්බන්ධයෙන් නායක චරිත් අසලංක ප්රමුඛ ශ්‍රී ලංකා ක්‍රීඩකයන් වැඩි පිරිසක් විනිසුරුවන්ට දැඩි විරෝධය දැක්වීමෙන් උණුසුම් තත්වයක් ඇතිවිය. ඒ හේතුවෙන් තරගය විනාඩි කීපයක් නතර විය.
සෞම්‍ය සාකර් එය තෙවැනි විනිසුරුට යොමු කිරීමෙන් පසුව පන්දුව පිත්තේ යට දාරයේ වැදුණේ යැයි ලින්ටන් දාස් පවා ප්‍රකාශ කළ ආකාරය දැකගත හැකිවූ අතර ලින්ටන් දාස් පුනරූපනවලින් පසුව සෞම්‍ය සාකර්ට පිටියෙන් ඉවත්වන ලෙස පැවසූ ආකාරය ද දැකගත හැකි විය.
බංග්ලාදේශය මෙම ජයත් සමඟ තරග තුනකින් සමන්විත තරගාවලිය 1-1 ක් ලෙස සමවිය.
නායක නජ්මුල් හොසේන් ශන්ටෝ සහ ටොට්හිට් හිඩෝයි තෙවැනි කඩුල්ලට ලකුණු 87 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණය පහසු කළහ.
ශ්‍රී ලංකා පිල ඕවර 20 කදී කඩුලු 5 ට 165
(කුසල් මෙන්ඩිස් 36, කමිඳු මෙන්ඩිස් 37, චරිත් අසලංක 28, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 32, දසුන් ශානක නොදැවී 20)
බංග්ලාදේශ පිල ඕවර 18.1 කදී කඩුලු 2 ට 170
(ලින්ටන් දාස් 36, සෞම්‍ය සාකර් 26, නජ්මුල් හොසේන් ශන්ටෝ නොදැවී 53, ටොට්හිට් හිඩෝයි නොදැවී 32, මතීෂ පතිරණ 28/2)


