(සාලිය සමන්)
මරණීය දණ්ඩනය නියමවී බූස්ස බන්ධනාගාරයේ විශේෂ අංශයේ රඳවා සිටින අභියාචක සිරකරුවෙක් රාජකාරී නියුතු බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්‍රමික බලකා නිලධාරියෙක්ට ගල් ප්‍රහාරයක් එල්ල කිරීමෙන් නිලධාරියා රෝහල්ගත කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා පැවසීය.
විශේෂ අංශයේ රාජකාරීයේ නිරතව සිටි මෙම නිලධාරීයාට පස්වරු 4.35 ට පමණ ආහාර දෙන අවස්ථාවේදී සිරකරු ගල්කැබැල්ලකින් වම් ඇසට පහළින් පිහිටි වම් කම්මුල් ප්‍රදේශයට ප්‍රහාරයක් එල්ල කර ඇති බවත් තුවාල ලැබූ නිලධාරියා ප්‍රතිකර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවත් මාධ්‍ය ප්‍රකාශවරයා කීය.
අදාල ප්‍රහාරය සම්බන්ධයෙන් බූස්ස බන්ධනාගාර විමර්ශණයක් ආරම්භ කළ බවත් සිරකරුගේ කළහකාරි හැසිරීම පාලනය කිරීමට වෙනම සිර මැදිරියක රඳවා ඇති බවත් දිසානායක මහතා සඳහන් කළේය.
එම සිද්ධිය අධිකරණයට වාර්තා කිරීමෙන් පසුව ඉදිරි නීතිමය කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව ද බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී. දිසානායක මහතා වැඩි දුරටත් පැවසීය.



