ක්‍රීඩා
ශ්‍රී ලංකාව කඩුලු 3 ට 306 යි
(ෂෙනික ගමගේ)
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (26) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දිනයේ ක්‍රීඩාව අවසන් කරන විට ශ්‍රී ලංකා පිල කඩුලු 3 ක් දැවී ලකුණු 306 ක් රැස්කර සිටියේය.
පළමු දිනයේ ක්‍රීඩාව අවසන් කරන විට ඇන්ජලෝ මැතිව්ස් (නොදැවී 78 ) සහ කමිදු මෙන්ඩිස් (නොදැවී 51) පන්දුවට පහර දෙමින් සිටියහ.
දිනේෂ් චන්දිමාල් අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 208 කදී හතරේ පහර 15 ක් සමගින් ලකුණු 116 ක් රැස්කිරීමට සමත් විය. මෙය චන්දිමාල්ගේ 16 වැනි ටෙස්ට් ශතකයයි.
දිමුත් කරුණාරත්න පන්දු 109 කදී හතරේ පහර 4 ක් සමගින් නොදැවී ලකුණු 46 ක් රැස් කළේය.
පැතුම් නිස්සංකගේ ඉනිම පන්දු තුනකට සීමා වෙමින් ලකුණක් ලබා පළමු කඩුල්ල ලෙස පිටියෙන් ඉවත්විය.
ශ්‍රී ලංකා පිලේ නායක ධනංජය ද සිල්වා කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
මෙම තරගයේදී කෝඩුකාර පිට දඟපන්දු යවන නිෂාන් පීරිස් ටෙස්ට් වරම් හිමිකරගත්තේය. 27 හැවිරිදි නිෂාන් පීරිස් ශ්‍රී ලංකාවේ 167 වැනි ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස ඉතිහාසගතයට එකතු විය.
ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ පසුගිය දකුණු අප්‍රිකානු සංචාරයේ පළමු සිවුදින තරගයේදී කඩුලු තුනක් දවාගැනීමෙන් පසුව නිෂාන් මෙම ටෙස්ට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාවට නැවත කැඳවීය.
එංගලන්ත සංචාරයේදී තුන් ඉරියව් දස්කම් දැක්වූව ද පළමු තරගයේදී කණ්ඩායම සමතුලිත කිරීමේදී ස්ථාන අහිමිවූ තුන් ඉරියව් ක්‍රීඩක මිලාන් රත්නායක මෙම තරගයට කැඳවීය.
එම වෙනස්කම් දෙකත් සමඟ පළමු තරගයට ක්‍රීඩා කළ රමේෂ් මෙන්ඩිස් සහ ළහිරු කුමාරට ස්ථාන අහිමිවූහ.
හෙට (27) තරගයේ දෙවැනි දිනයයි.
ලකුණු පුවරුව
ශ්‍රී ලංකා පිල පළමු ඉනිම ඕවර 90 කදී කඩුලු 3 ට 306
(දිමුත් කරුණාරත්න 46, දිනේෂ් චන්දිමාල් 116, ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 78, කමිඳු මෙන්ඩිස් නොදැවී 51)


