රග්බි වංචා ගැන ඉල්ලියාස් පරීක්‍ෂණයක් ඉල්ලයි

(ෂෙවෝන් ප්‍රනාන්දු) ශ්‍රී ලංකා හිටපු රග්බි සභාපතිවරු දෙදෙනකුට එරෙහිව මූදල් අවභාවිත කිරීමේ සහ ආගමන විගමන පනත උල්ලංඝණය කිරීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍යංශයේ ‘ඔම්බුඩ්ස්මන්වරයාට’ නිලවශයෙන් යොමුකළ ද නීතිය ක්‍රියාත්මක නොකළ බව හිටපු රග්බි සභාපති රිස්වි ඉල්ලියාස් මහතා පැවසීය. ශ්‍රී ලංකා රග්බි පරිපාලනය තුළ 2012 වසරේ සිට 2020 වසර දක්වා කාලය තුළ අසංග සෙනෙවිරත්න සහ ලසිත ගුණරත්න යන මහත්වරු සභාපති ධූරයේ කටයුතු කළ බවත් එම කාලයේදී රුපියල් මිලියන 55 කට අධික මුදලක් අවභාවිත වීම මෙන්ම ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කර ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍ර ගෙන ෆීජි ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා රග්බි පිල නියෝජනය කිරීමට අවස්ථාව දී ඇති බවත් පැමිණිළි කළ බවත් ඒ මහතා කීය. ව්‍යාජ ලේඛණ ඉදිරිපත් කර වෙනත් රටක පුද්ගලයන්ට විදේශ ගමන් බලපත්‍ර ගැනීම බරපතල නීති විරෝධී සිද්ධියක් වුවද මේ දක්වා ඒ සම්බන්ධයෙන් කිසිඳු විමර්ශනයක් කර නොමැති බව කියන ඉල්ලියාස් මහතා පැවසුවේ ආගමන විගමන නීති උල්ලංඝණය කිරීමේ සිද්ධියට ලෝක රග්බි සංගමය ශ්‍රී ලංකා රග්බි සංගමයට විශාල දඩයක් පැනවූ බවත්ය. එම දඩයට ලෝක රග්බි සංගමය සංවර්ධන සඳහා වෙන්කළ මුදල් විධායක සභාවේ අනුමැතියෙන් තොරව හිලව් කිරීමට අදාල කාලයේ කටයුතු කර ඇති බවත් මෙම සිද්ධීන් පිළිබඳව පරීක්‍ෂණ කරන ලෙස හිටපු ක්‍රීඩා ඇමතිවරු ඇතුළු බලධාරීන්ගෙන් අඛණ්ඩව ඉල්ලීම් කළ ද එය ඉටුනොවූ බවත් ඒ මහතා කියයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආණ්ඩුව මේ පිළිබඳව පරීක්‍ක්‍ෂණයක් කර වරදකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරනු ඇති බවට දැඩි විශ්වාසයක් පවතින බව රිස්වි ඉල්ලියාස් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.