ශ්‍රී ලංකාව ලකුණු 49 කින් ඕස්ටේ්‍රලියාව පරදවයි

(ෂෙවෝන් ප්‍රනාන්දු) ඕස්ටේ්‍රලියාව සහ ශ්‍රී ලංකාව අතර තරග දෙකකින් සමන්විත එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (12) පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා පිල ලකුණු 49 ක පහසු ජයක් ලැබීය. ශ්‍රී ලංකාව මෙම ජයග්‍රහණයත් සමඟ 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගැනීමට සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 215 ක ඉලක්කය හඹාගිය ඕස්ටේ්‍රලියානු පිල ඕවර 35.3 කදී ලකුණු 165 කට දැවී ගියේය. දඟ පන්දු යවන මහීෂ් තීක්ෂණ අනගි පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 40 කට කඩුලු හතරක් දවා ගනිමින් ජයග්‍රහණයේ දැවැන්ත කොටස්කරුවෙක් බවට පත්විය. නායක චරිත් අසලංක විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 126 කදී ලකුණු 127 ක් රැස්කිරීමට සමත් වූ අතර අසලංකගේ ඉනිමට හතරේ පහර 14 ක් සහ හයේ පහර 5 ක් ඇතුළත් විය. ශ්‍රී ලංකා පිල 15 වැනි ඕවරයේ තුන්වැනි පන්දුව අවසන් වන විට ලකුණු 55 කට කඩුලු පහක් දැවී අසීරු තත්වයක සිටියදී චරිත් අසලංක සහ දුනිත් වෙල්ලාලගේ හයවැනි කඩුල්ලට ලකුණු 67 ක සම්බන්ධතාවයක් පවත්වමින් ඉනිම යම් තරමකින් ගොඩගැනීමට සමත් වූහ. චරිත් අසලංක තරගයේ වීරයා ලෙස සම්මාන ලැබීය. ශ්‍රී ලංකා පිල ඕවර 46 කදී සියලු දෙනා දැවී 214 (කුසල් මෙන්ඩිස් 19, චරිත් අසලංක 127, දුනිත් වෙල්ලාලගේ 30, ස්පෙන්සර් ජොන්සන් 44/2, ඒරන් හාඩ් 13/2, ෂොන් ඇබට් 61/3, නේතන් එලිස් 23/2) ඕස්ටේ්‍රලියානු පිල ඕවර 35.3 කදී සියලු දෙනා දැවී 165 (මානස් ලබුෂේන් 15, ඇලෙක්ස් කේරි 41, ඒරන් හාඩ් 32, ෂෝන් ඇබට් 20, ඇඩම් සම්පා නොදැවී 20, අසිත ප්‍රනාන්දු 23/2, මහීෂ් තීක්‍ෂණ 40/4, දුනිත් වෙල්ලාලගේ 33/2)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.