දේශීය පුවත්, ප්රධාන පුවත
සිංහල නිළි රැජින මාලනී දිවිරඟ මඩලෙන් සමුගනී
(ඔගස්ටා පෙරේරා)
සිංහල සිනමාවේ නිළි රැජින ලෙස විරුදාවලිය ලත් මාලනී ෆොන්සේකා මහත්මිය අද (24) අළුයම දිවිරඟ මඩලෙන් සමුගත්තාය.
කලක් රෝගාතුරව සිටි මාලනී ෆොන්සේකා මහත්මිය කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්රාප්ත වන විට 78 වැනි වියේ පසුවූවාය.
සිංහල සිනමාවේ නොමැකෙන මතක සටහන් රැසක් ඉතිරි කළ ඇය 1968 වසරේ ‘පුංචි බබා’ චිත්රපටියෙන් සිනමාවට පිවිසියාය.
නිධානය, බඹරු ඇවිත්, වෑකන්දේ වලව්ව, ආරාධනා සහ අම්මාවරුනේ වැනි චිත්රපටිවලින් ඇය සිය රංගන කුසලතාවන් මනාව ප්රදර්ශනය කළ අතර ඇය චිත්රපට විශාල සංඛ්යාවකට රංගනයෙන් දායක වී තිබේ.
කැලණියේදී 1947 වසරේ අප්රේල් මස 30 වැනිදා උපත ලැබූ වන්නිආරච්චිගේ මාලනී සෙනෙහෙලතා ෆොන්සේකා, වේදිකා නාට්යවලින් සිය රංගන කෞශල්ය ප්රදර්ශනය කරමින් සිනමාවට පිවිස සිංහල සිනමාවේ නිළි රැජින බවට පත්වූවාය. මාලනී ෆොන්සේකා මහත්මිය 70 සහ 80 දශකවල මෙරට චිත්රපට ප්රේක්ෂකයන්ගේ සිහින කුමරිය බවට පත්ව සිටියාය.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 2010 ආණ්ඩුවේ ජාතික ලැයිස්තු මන්ත්රීවරියක් ලෙස පත් වූ මාලනී ෆොන්සේකා මහත්මිය 2015 වසර දක්වා පාර්ලිමේන්තුව ද නියෝජනය කළාය.


