ක්‍රීඩා, ප්‍රධාන පුවත
‘ගෝල් මාවල්ස්’ හිමිකරුට වසර 2ක සිර දඬුවමක්
(ෂෙවෝන් ප්‍රනාන්දු)
මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පසුගිය වසරේ දෙසැම්බර් මස පැවැති ‘ ලංකා ටී10 සුපර් ලීග්’ තරගාවලියට සහභාගී වූ ‘ගෝල් මාවල්ස්’ පිලේ හිමිකරු වූ ඉන්දීය ජාතික ප්‍රේම් තක්කාර් නමැත්තා මුදලට තරග පාවාදීමට යෝජනා කිරීමේ වරද පිළිගැනීම හේතුවෙන් වසර 10 කට අත්හිටුවූ වසර දෙකක සිරදඬුවමක් මහනුවර මහාධිකරණය අද (29) නියම කළේය.
එම අත්හිටුවූ සිර දඬුවමට අමතරව රුපියල් ලක්ෂ 60 ක දඩයක් සහ රුපියල් ලක්ෂ 10 ක වන්දියක් ගෙවන ලෙස ද අධිකරණය ඔහුට නියෝග කළේය.
ප්‍රේම් තක්කාර් නමැත්තාගේ දුරකථනයේ දත්ත පරීක්ෂා කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකය කර තිබූ ඉල්ලීමට ද මහනුවර මහාධිකරණය අවසර දුන්නේය.
‘ලංකා ටී10 සුපර් ලීග්’ ක්‍රිකට් තරගාවලියට සහභාගී වී සිටි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෙක්ට මුදලට තරග පාවාදීමට යෝජනා කළේ යැයි කියන සිද්ධියක් හේතුවෙන් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පොලිස් ඒකකය මහනුවරදී පසුගිය දෙසැම්බර් මස අදාළ පුද්ගලයා අත්අඩංගුවට ගත්තේය.


