ක්‍රිකට් ක්‍රීඩකයන් – ආදායම් බදු එකගතාවක

(ඔගස්ටා පෙරේරා) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග වාර්ෂික කොන්ත්‍රාත් ගිවිසුම්මට එළඹ සිටින ක්‍රිකට් ක්‍රීඩකයන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ගෙවිය යුතු ගෙවීම් කිරීමට සහ ක්‍රීඩකයන්ට යෝජනා කරඇති රඳවා ගැනීමේ බද්ද මෙම මස සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යොමු කිරීමට අභියාචනාධිකරණයේදී අද (3) දෙපාර්ශවය එකඟතාවයකට පැමිණියේය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කොන්ත්‍රාත් ගිවිසුමට ඇතුලත් ක්‍රීඩකයන් එහි සේවකයන් ලෙස සලකා රඳවා ගැනීමේ බදු අය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ගෙන තිබෙන තීරණයට එරෙහිව ක්‍රිකට් ක්‍රීඩකයන් ගොනුකර තිබෙන පෙත්සම අභියාචනාධිකරණයේදී අද (3) නැවත විභාගයට ගත් අවස්ථාවේදී දෙපාර්ශවය මෙම එකඟතාවයට පැමිණියේය. ශ්‍රී ලංකා එක්දින සහ විස්සයි20 ක්‍රිකට් කණ්ඩායම්වල නායක චරිත් අසලංක සහ ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා මෙම පෙත්සම ගොනුකර තිබේ. එම පෙත්සම් අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරු මඩුල්ල ඉදිරියේ අද කැඳවනු ලැබීය. එහිදී වගඋත්තරකාර දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ සමථ යෝජනාවලට පෙත්සම්පකාර පාර්ශ්වයේ එකඟතාවය පළ කෙරිණි. ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ක්‍රිකට් ක්‍රීඩකයින්ට ගෙවිය යුතු ගෙවීම් කිරීමට එකඟතාවය පළවූ අතර ඉන් අය වියයුතු රඳවා ගැනීමේ බද්ද මෙම මාසයේ සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට යැවීමට ද එකඟතාවයක් ඇති විය. යම් හෙයකින් මෙම නඩුකරයෙන් පෙත්සම්කාර ක්‍රීඩකයින්ට වාසිදායක තීන්දුවක් ලැබුණහොත් මෙසේ අය කරගනු ලබන රඳවා ගැනීමේ බදු ආපසු ගෙවීමටත් එකග වූහ. මෙම සමථයට පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිශාන් ප්‍රේමතිරත්න මහතා එකඟතාවය පළ කළ අතර  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා මහතා ද එකඟත්වය පළ කළේය. පෙත්සමට අදාළ විරෝධතා තිබේ නම් අගෝස්තු මස 29 වැනිද‍ාට පෙර ගොනු කරන ලෙසත් ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා සැප්තැම්බර් මස 29 වැනිදාට පෙර ගොනු කරන ලෙසත් අධිකරණය පාර්ශ්වකරුවන්ට නියෝග ක⁣ළේය. පෙත්සම් විභාගය නොවැම්බර් මස 6 වැනිදා පැවැත්වීමට ද දින නියම කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.