දේශීය පුවත්, ප්‍රධාන පුවත
අනුරාධපුර සිරකරු නිදහස්වීම ගැන ජනාධිපති වෙතින් වෙනත් කථාවක්
(ඔගස්ටා පෙරේරා)
මූල්‍ය චෝදනාවකට වරදකරු වී අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටියදී ජනාධිපති සමාව ලැබුවේ යැයි කියන ඩබ්ලිව්. එච්. අතුල තිලකරත්න නැමැති පුද්ගලයාගේ නම වෙසක් උත්සවය නිමිත්තෙන් ජනාධිපති සමාව යටතේ නිදහස් කිරීම සඳහා ජනාධිපති කාර්යාලයට එවූ පොදු සමාව හිමිවියයුතු සිරකරු නාම ලේඛණයට ඇතුළත්ව නොමැති බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.
එම පුද්ගලයාට පොදු සමාව පිරිනැමීමට අදාලව පසුගිය මැයි මස 6 වැනිදා 06/01/යෝජිත/ජ.පො.සමා/වාර්:/05-12/2025 අංකයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් විසින් ජනාධිපති කාර්යාලය වෙත එවන ලද පොදු සමාව හිමිවිය යුතු සිරකරු නාමලේඛණයේ නම් 388 ක් තිබූ බවත් එම ලේඛණයේ කිසිඳු තැනක මුදල් වංචාවට අදාලව අනුරාධපුර බන්ධනාගාරයේ සිරගතව සිටි අදාල පුද්ගලයාගේ නම ඇතුළත්ව නොමැති බවත් එම මාධ්‍ය අංශය කීය.
“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 (1) වගන්තිය අනුව සිරකරුවන්ට පොදු සමාව ලබාදීමට ජනාධිපතිවරයාට බලය හිමිව තිබේ. ඒ අනුව බන්ධනාගාර අධිකාරීවරුන් විසින් තෝරාගන්නා සිරකරුවන්ගේ නාමලේඛණයක් අධිකරණ අමාත්‍යංශය වෙත යොමු කරනු ලබයි. එම ලේඛණය අධිකරණ අමාත්‍යංශය මගින් පරීක්ෂා කර බලා ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කරනු ලබන අතර ඒ අනුව ජනාධිපතිවරයාගේ අනුමැතිය මත එම සිරකරුවන්ට පොදු සමාව හිමිවේ” ලෙස ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.


