දේශීය පුවත්
‘මලිමාවේ’ මන්ත්රී ජගත් මනුවර්ණ යකා නැටුවලු
(හසිත මාතරගේ)
ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී, රංගන ශිල්පී ජගත් මනුවර්ණ මහතා මහනුවර ජාතික රෝහලේ ආරක්ෂක නිලධාරීන් සමග ගැටුමක් ඇතිකර ගැනීම නිසා පසුගිය අඟහරුවාදා පෙරවරුවේ රෝහල් පරිශ්රය තුළ නොසන්සුන්කාරී තත්වයක් ඇතිවූ බව වාර්තාවේ.
මහනුවර ජාතික රෝහල මැදින් ඇති මාර්ගයෙන් වාහනය ධාවනය කරමින් සිටී මන්ත්රීවරයා සිය අනන්යතාවය හෙළි කිරීමට දැක්වූ මැලිකම හේතුවෙන් මෙම නොසන්සුන්කාරී තත්වය ඇතිවූ බව දැනගන්නට තිබේ.
මහනුවර ජාතික රෝහලේ ආරක්ෂක නිලධාරීන් මන්ත්රීවරයාගේ අනන්යතාවය තහවුරු කරන ලෙස ඉල්ලා සිටි අවස්ථාවේදී තමන්ව අඳුරන්නේ නැද්ද ඇයි ඔහු ප්රශ්න කර ඇති අතර එහිදී ඇතිවූ නොසන්සුන්කාරී තත්වය පාලනය කිරීමට පොලිසිය කැඳවීමට ද සිදුව තිබේ.
එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් ද ජගත් මනුවර්ණ මන්ත්රීවරයා හඳුනා නොගැනීම නිසා තත්වය තවත් බරපතල වූ බව වාර්තාවේ.
මන්ත්රීවරයා ධාවනය කරමින් සිටි වාහනයේ ඔහු පාර්ලිමේන්තු මන්ත්රීවරයකු බම හඳුනාගැනීමට කිසිදු ලාංඡනයක් නොතිබීම සහ ආරක්ෂක අංශය විමසා සිටි අවස්ථාවේදී ජගත් මනුවර්ණ මන්ත්රීවරයා කිසිදු හැදුනුම්පතක් ඉදිරිපත් නොකිරීම ගැටළුවට මූලික හේතුව වූ බවත් පොලිසිය සඳහන් කළේය.
ජගත් මනුවර්ණ මන්ත්රීවරයා ඉන් පසුව මහනුවර ප්රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් දැනුවත් කර එම නිලධාරියාගේ මැදිහත්වීමෙන් පිටව ගිය බවද වාර්තාවේ.
කෙසේ වෙතත් එම ස්ථානයේ සිටි බොහෝ දෙනෙක් ජගත් මනුවර්ණ මහතාට දොස් නැගූ බවද දැනගන්නට තිබේ.
“මීට පෙර පැවති ආණ්ඩුවල මන්ත්රීවරු ඇමතිවරු මෙහෙම හැසිරුනු නිසයි අපි මාලිමාවට ඡන්දෙ දුන්නේ. මාලිමාවේ මන්ත්රීවරුත් මෙහෙම හැසිරෙනවා නම් මේ රටට දෙවියන්ගේම පිහිටයි.
මම පාර්ලිමේන්තු මන්ත්රීවරයෙක් මෙන්න මගේ හැදුනුම්පත යැයි ප්රකාශ කලේ නම් මේක මෙච්චර ප්රශ්නයක් වෙන්නේ නෑනේ. ජනතා නියෝජිතයෝ මේ තරම් ආඩම්බර වෙන්නේ ඇයි? යැයි එම ස්ථානයේ සිටි බොහෝ දෙනෙක් දොස්නැගූ බව දැනගන්නට තිබේ.


