ශ්‍රී ලංකාව කඩුලු 7 කින් බංග්ලාදේශය පරදවයි

(ෂෙවෝන් ප්‍රනාන්දු, පල්ළෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරග තුනකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පල්ළෙකැලේ ජාත්‍යන්කර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (10) රාත්‍රී පැවැති පළමු තරගයෙන් ශ්‍රී ලංකා පිල කඩුලු 7 ක පහසු ජයක් ලැබීය. ශ්‍රී ලංකා පිල මෙම ජයග්‍රහණයත් සමග 1-0 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගත්තේය. ශ්‍රී ලංකා පිතිකරුවෝ ලකුණු 155ක ජයග්‍රාහී ඉලක්කය ඕවර 19 කදී කඩුලු 3 ක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් වූහ. කුසල් මෙන්ඩිස් වේගවත් ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 51 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 73 ක් රැස්කිරීමට සමත් විය. පැතුම් නිස්සංක පන්දු 16 කදී හතරේ පහර 5 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 42 ක් රැස් කළේය. කුසල් සහ පැතුම් වේගවත් ආරම්භයක් ලබා දෙමින් පන්දු 28 කින් ලකුණු 78 ක සම්බන්ධතාවයක් පැවැත්වීමට සමත් වූහ. ශ්‍රී ලංකා වේගපන්දු සහ දඟපන්දු යවන්නන්ගේ සුපිරි පන්දු යැවීම හේතුවෙන් පළමුව පන්දුවට පහර දුන් බංගලාදේශ පිලට ඕවර 20 අවසානයේ කඩුලු 5ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 154 ක් පමණි. ශ්‍රී ලංකා පිලේ නායක චරිත් අසලංක කාසියේ වාසිය ලබා පළමුව පන්දුවට පහර දීමට බංග්ලාදේශ පිලට ආරාධනා කළේය. දෙරට අතර දෙවැනි විස්සයි20 තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී මේ මස 13 වැනිදා පැවැත්වීමට නියමිතය. ලකුණු පුවරුව බංග්ලාදේශ පිල ඕවර 20 කදී කඩුලු 5 ට 154 (පර්විෂ් හොසේන් එමෝයි 38, තන්ෂීඩ් හසන් 16, මොහොමඩ් නයිම් නොදෙවී 32, මෙහෙදි හසන් මිරාෂ් 29, ශම්මි හොසේන් නොදෙවී 14, නුවන් තුෂාර 32/1, මහීෂ් තීක්ෂණ 37/2, දසුන් ශානක 22/1, ජෙෆ්රි වැන්ඩෙසේ 25/1) ශ්‍රී ලංකා පිල ඕවර 19 කදී කඩුලු 3 ට 159 (පැතුම් නිස්සංක 42, කුසල් මෙන්ඩිස් 73, කුසල් පෙරේරා 24, අවිෂ්ක ප්‍රනාන්දු නොදෙවී 11, මෙහෙදි හසන් මිරාෂ් 24/1, රිෂාඩ් හොසේන් 24/1, මොහොමඩ් සයිෆුඩීන් 22/1)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.