දික්අරාව මාලු වෙ⁣ළෙදසැලක් ගැන පරීක්ෂණයක් අරඹයි

(කෝසල වන්නිආරච්චි) බණ්ඩාරවෙල – බදුල්ල ප්‍රධාන මාර්ගයේ දික්අරාව ප්‍රදේශයේ පිහිටි මත්ස්‍ය වෙ⁣ළෙදසැලකින් මත්ස්‍ය අපද්‍රව්‍ය ප්‍රධාන මාර්ගයට හා බාහිර පරිසරයට බැහැර කිරීමෙන් බරපතල සෞඛ්‍ය ගැටලුවක් උද්ගත වී තිබෙන බැවින් විමර්ශනයක් ආරම්භ කළ බව ඇල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පැවසීය. මෙම ව්‍යාපාරික ස්ථානය මත්ස්‍ය අපද්‍රව්‍ය හා අහිතකර ජලය බාහිර පරිසරයට මුදාහැර සිටින බවට පැමිණිළි රැසක්ම ලැබී ඇතැයි ඇල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිශ්ශංක විජේවීර මහතා පැවසීය. මෙම ව්‍යාපාරික ස්ථානය තොග සහ සිල්ලර මිලට මත්ස්‍ය අලළවිය කරමින් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ හා සෞඛ්‍ය හිතකර අන්දමින් පවත්වාගෙන යාමට අවස්ථා රැසකදීම අදාල ව්‍යාපාරික ස්ථානයේ හිමිකරුට උපදෙස් සහ අවවාද කර තිබෙන බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා කීවේය. මෙම ගැටලු සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමුකරන ලෙසට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට ද උපදෙස්දී තිබෙන බවද කී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා මීට මාස කිහිපයකට පෙර මෙම ව්‍යාපාරික ස්ථානයේ කළ වැටලීමෙන් පාරිභෝජනයට නුසුදුසු රුපියල් ලක්ෂ විසිපහක් පමණ වටිනා නරක් වූ මත්ස්‍යන් විනාශ කිරීමටද පියවර ගෙන ඇති බවද හෙතෙම කීවේය. මෙම ව්‍යාපාරික ස්ථානය ප්‍රධාන මාර්ගයේ අවධානම් සහගත වංගුවක් අසළ පිහිටා තිබෙන බවද මේ ස්ථානය අවට විශාල වශයෙන් වාහන නවතා තැබීමෙන් අනතුරුදායක තත්වයක් නිර්මාණය වී ඇති බවද මේ ගැන බණ්ඩාරවෙල මූලස්ථාන ප්‍රධාන පරීක්ෂකවරයාටත් කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාටත් දැනුම් දුන්නද මෙතෙක් කිසිදු පියවරක් ගෙන නැති බවද හෙතෙම කීවේය. මේ අතර මෙම ව්‍යාපාරික ස්ථානය සම්බන්ධයෙන් නාගරික සංවර්ධන අමාත්‍යංශයට හා බදුල්ල දිස්ත්‍රීක් ලේකම් කාර්යාලයටද පැමිණිලි කිහිපයක්ම කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.