අමාත්‍ය කුමාර ජයකොඩිට බරපතල මූල්‍ය චෝදනා – ආණ්ඩුව නිහඬයිලු..

(ඔගස්ටා පෙරේරා) බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව බරපතළ චෝදනා ඇතැයි කාලයක් තිස්සේ රටේ කතාවක් තිබූ බවත් ඒ මහතා පොහොර සංස්ථාවේ සේවය කළ කාලයේ ටෙන්ඩර් ක්‍රියාවලියේදී මූල්‍ය වංචා සහ අක්‍රමිකතා කරමින් රුපියල් ලක්ෂ 80ක මුදල් අවභාවිතාක් සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් ද පැවැත්වූ බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (18) පැවසීය. පෙරටුගාමී සමාජවාදී පක්ෂය නුගේගොඩදී අද (18) පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී එම පක්‍ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා එසේ පැවසීය. පොහොර සංස්ථාව කළ එම පරීක්ෂණයෙන් ඔහු වරදකරුවීම නිසා තනතුරෙන් පහත දැමීමට එවකට අධ්‍යක්ෂක මණ්ඩලය තීරණය කර තිබූ බවත් වර්තමානය වන විට මේ සියල්ල සම්බන්ධයෙන් බරපතළ සාකාච්ඡාවක් රටේ මතු වෙමින් තියෙද්දි කුමාර ජයකොඩි ඇමතිවරයා සම්බන්ධයෙන් ආණ්ඩුව ගන්න ක්‍රියාමාර්ගය මොකක් ද යැයි ජනතාව බලාසිටින බවත් ජයගොඩ මහතා කීය. එහිදී පුබුදු ජයගොඩ මහතා වැඩි දුරටත් මෙසේ ද පවැසීය. “අපි දැක්කා පහුගිය දවසක පැවති රූපවාහිණී වැඩසටහනකදී කුමාර ජයකොඩි ඇමතිවරයා පිළිගන්නවා මූල්‍ය වංචා සම්බන්ධයෙන් අධිකරණයේ විභාග වූ නඩුවකින් තමන් වැරදිකරු වුණා කියලා. දැන් මේ ආණ්ඩුව බලයට ආවෙම දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම ගැන පුරසාරම් කතන්දර ගොඩක් කියාගෙන. දූෂණ වංචා සම්බන්ධයෙන් වරදකරු වුණු හෝ එවැනි දෙයකට චෝදනා ලබපු කිසිවෙක්ට ආණ්ඩුවේ කිසිඳු තනතුරක් දෙන්නේ නෑ කියලා තමයි ඡන්දෙට කලින් කිව්වේ. එහෙම කියපු ආණ්ඩුවක් මූල්‍ය වංචා සම්බන්ධයෙන් වැරදිකරුවෙක් වූ පුද්ගලයෙක්ව රටේ ප්‍රධාන කැබිනට් ඇමතිවරයෙක් වශයෙන් පත් කරගෙන සිටීම ගැන බරපතළ ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුව තෝරමින් ඉන්නේ අමුතුම දේශපානලන පාරක්. ඒ තමයි ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති ගනුලබන දේශපානලන තීන්දු තීරණ කිසිවක් රටේ ජනතාවට හෙළිදරවු නොකර සිටීමේ ක්‍රමය. මේ ක්‍රමය අනුව තමයි ආණ්ඩුව ඉන්දියාව සමග අත්සන් කළ ගිවිසුම් පාර්ලිමේන්තුවටවත් ඉදිරිපත් නොකළේ. අගමැති හරිනී අමරසූරිය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන්න යනවා හැබැයි ඒ වැඩපිළිවෙළ නිශ්චිතවම මෙන්න මේකයි කියලා කියන්න ඇයවත් දන්නේ නෑ. ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව කාලේ උපාලි සේදර කමිටු වාර්තාවයි රනිල් වික්‍රමසිංහගේ ජාතික අධ්‍යාපන ප්‍රතිපත්ති රාමුවයි දෙක එකට මික්ස් කරලා හදාගත්ත වැඩපිළිවෙළක් තමයි මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කියලා ක්‍රියාත්මක කරන්න සූදානම් වෙන්නේ. දැන් අන්තිමට වෙන්නේ මෙහෙම වැඩක් ගෝඨාභය රාජපක්ෂ කැරට් කපනවා රනිල් වික්‍රමසිංහ පොල් ගානවා. ඒ දෙක එකතු කරලා නේද ඔය සම්බෝලේ හැදුවේ කියලා ඇහුවම ආණ්ඩුව නෑනේ අපි දෙහි ටිකක් මිරිකුවනේ මේකට වගේ උත්තරයක් දෙනවා. දැන් සියලු ක්ෂේත්‍ර ක්‍රියාත්මක වෙන්නේ මේ විදිහටයි” යැයි ඔහු වැඩි දුරටත් කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.