දේශීය පුවත්, ප්‍රධාන පුවත
කටුනායක – බේරේවැව ගුවන් ගමන් අරඹයි
(සාලිය සමන්)
බේරේවැව ජලතර ගුවන් තොටුපලක් භාවිත කරමින් කටුනායක සහ කොළඹ අතර ගුවන් ගමන් අද (3) පෙරවරුවේ නැවත ආරම්භ කළේය.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන් එහි සමාරම්භය සිදුකෙරිණ.
සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ සැළසුමේ එක් පියවරක් වූ දේශීය ගුවන් ගමන් ප්‍රවර්ධනය කිරීමේ වැඩසටහනේ තවත් පියවරක් ලෙස මෙම කොළඹ – කටුනායක ගුවන් ගමන් ආරම්භ කළේය. වර්තමානය වන විට ශ්‍රී ලංකාව තුළ ජලතර ගුවන් ගමන් ක්‍රියාත්මක කරන සිනමන් ගුවන් සමාගම මෙම කොළඹ- කටුනායක ගුවන් ගමන් ක්‍රියාත්මක කරයි.
කටුනායක ගුවන්තොටුපොල වෙත පැමිණෙන සංචාරකයින් සහ ව්‍යාපාරිකයන් කෙටි වේලාවකින් කොළඹ නගරය වෙත කාර්යක්ෂමව ගමන් කිරීමේ අවස්ථාව මෙම නව ගුවන් ගමන් ආරම්භයත් සමඟ හිමිවේ.
වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න යන මහත්වරු ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් රැගත් සිනමන් ගුවන් සමාගමට අයත් Cessna 208 මාදිලියේ ගුවන් යානාවක් කටුනායක ගුවන් තොටුපලේ සිට Cinnomon Lake side pire දක්වා මෙම සමාරම්භක ගුවන් ගමන ධාවනය විය.
ආණ්ඩුවක් විදියට දේශීය ගුවන් සේවාවන් දියුණු කරන්න බලාපොරොත්තු වන බවත් පලාලි වගේ ගුවන් තොටුපොලවලට දේශීය ගුවන් වාර ආරම්භ කරන්න සිනමන් එයාර් සමාගම් ආරාධනා කරන බවත් මෙම අවස්ථාවට සහභාගි වූ අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය.
ආණ්ඩුවක් ලෙස එම වැඩපිළිවෙළට අවශ්‍ය උපරිම සහයෝගය දීමට බැදී සිටින බව ද අමාත්‍ය බිමල් රත්නායක මහතා කීය.
ශ්‍රි ලංකන් ගුවන් සමාගම 2011/2012 වර්ෂවල ජලතර ගුවන් ආරම්භ කළ අතර එවකට පැවති දැඩි ආරක්ෂක නියාමනයන් සහ දුෂ්කරතා හේතුවෙන් එම සේවාව අත්හිටුවීය.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක, වරාය සහ ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු ජනිත රුවන් කොඩිතුවක්කු, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය රුවන් රණසිංහ, ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයිය කොන්තා, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති සුනිල් ජයරත්න, ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සභාපති ක්‍රිෂාන් බාලේන්ද්‍රන් යන මහත්වරු ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.


