දේශීය පුවත්, ප්‍රධාන පුවත
වරායෙන් දොඹකර ගන්න ටෙන්ඩර් 5ක්
(ඔගස්ටා පෙරේරා)
වරාය සේවකයන්, වෘත්තිය සමිති, ආගමික නායකයන් සහ බහුජන සංවිධාන සිවිල් අරගලයක් කර ජාතියට රැකදුන් කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ ප්‍රධානම උපකරණය වන ‘ස්ට්රැඩල් කැරියර්ස් Straddle Carriers මිලදීගැනීමට ටෙන්ඩර් 5 ක් කැඳවා 4 ක් අවලංගු කර ඇති බවත් පස්වැනි ටෙන්ඩරය ද අවලංගු නොකර වඩාත් කාර්යක්ෂම මෙහෙයුම් ක්රිියාවලියක් සඳහා ප්‍රමිතියෙන් යුත් ‘ස්ට්රැඩල් කැරියර්ස්’ මිලදීගැනීමට කටයුතු කරන ලෙස ඉල්ලා සිටින බවත් වරාය මුදල් කොට්ඨාශියීය ස්වාධීන සේවක සංගමය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට ලිපියක් යොමුකර තිබේ.
පස්වැනි ලංසු කැඳවීම තුළ ‘ස්ට්රැඩල් කැරියර්ස්’ සම්බන්ධව ලෝක මට්ටමේ සැපයුම්කරු සිටින්නේ යැයි දැනගන්නට ඇති බවත් පසුගිය වසර 5 තුළ උපකරණ 15 ක් හෝ ආසන්න සීමිත ප්‍රමාණයක අත්දැකීම් සහිත කණ්ඩායමකට ‘ස්ට්රැඩල් කැරියර්ස්’ 30 ක පමණ ටෙන්ඩරය ප්රදානය කිරීම මේ අවස්ථාවේදී ලබානොගත යුතු අවදානමක් බවත් එම සංගමය ජනාධිපතිවරයාට යොමුකළ ලිපියේ සඳහන් වේ.
වර්තමාන රජය බලයට පැමිණෙන්නේ දූෂණය සහ නාස්තිය නතර කරන බව සඳහන් කරමින් මෙන්ම වඩාත් ප්‍රමිතිගත ආයෝජන සහ පාරදෘශ්‍යභාවය සහිතව ආර්ථික තීරණ ගන්නා බව සඳහන් කරමින් බව කියන එම සංගමය ඒ අනුව කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයට වර්තමාන ලෝකයේ ක්‍රියාත්මක හරිත වරාය සහ තිරසරභාවය යන සංකල්පලට ගැළපෙන උපකරණ මිලදීගන්නා ලෙස ඉල්ලා සිටින බවත්ය.
‘කොළඹ වරායේ නැගෙනහිර බහලු පර්යන්තයට අදාලව නැවත නිකුත් කරන ‘ස්ට්රැඩල් කැරියර්ස්’ ප්‍රසම්පාදන ක්‍රියාවලිය හා ටෙන්ඩර් ප්‍රමිතිය නොගැලපීම’ යන ශිර්ෂය යටතේ වරාය මුදල් කොට්ඨාශියීය ස්වාධීන සේවක සංගමයේ සභාපති තරංග ජයසිංහ මහතාගේ අස්සනින් එම ලිපිය යොමුකර තිබේ.
කොළඹ වරායේ නැගෙනහිර බහලු පර්යන්තයට ‘ස්ට්රැඩල් කැරියර්ස්’ මිලදීගැනීම සඳහා ටෙන්ඩර් කැඳවීමේදී සපුරාලිය යුතු සුදුසුකම් සහ මාර්ගෝපදේශන නැවත නැවත ලිහිල් කරමින් අවස්ථා 5 කදී ටෙන්ඩර් කැඳවා ඇති බවත් එම පර්යන්තයේ ජංගම උපකරණවලින් ඉහළම ප්‍රාග්ධන ආයෝජනයක් වන ‘ස්ට්රැඩල් කැරියර්ස්’ යාත්‍රා ඵලදායිතාවය, නැංගුරම්පොළ කාර්යක්ෂමතාව සහ සමස්ත පර්යන්තයේ ධාරිතාව සඳහා සෘජුවම දායක වන බවත් එම ලිපියේ සඳහන් වේ.
‘ස්ට්රැඩල් කැරියර්ස්’ නැගෙනහිර බහලු පර්යන්තයේ මෙහෙයුම්වලදී තීරණාත්මක කාර්යභාරයක් ඉටුකිරීම නිසා ඒවා මිලදීගැනීමේදී ජාත්‍යන්තරව පිළිගැණෙන ප්රමිතීන්, නිර්ණායක සහ සුදුසුකම් සළකා බැලීම අත්‍යවශ්‍ය බව කියන වරාය මුදල් කොට්ඨාශියීය ස්වාධීන සේවක සංගමය ඒ සඳහා ලංසු කැඳවීමේදී තරගකාරිත්වය වැඩි කිරීම යන පදනම මත ලිහිල් සුදුසුකම් සහ නිර්ණායක ඉදිරිපත් කර ඇතත් එම අරමුණ ඉටුවී නොමැති බව ද සඳහන් කරයි.
පළමු ටෙන්ඩරය එස්ටීඑස්. දොඹකර 12 ක්, ඒආර්එම්ජී දොඹකර 40 ක් සහ ‘ස්ට්රැඩල් කැරියර්ස්’ 30 ක් ලෙස නියමිත නිර්ණායකවලට අනුකූලව, දෙවැනි ටෙන්ඩරය කුලී ආකෘතිය යටතේ වසර 15 ක කාලයට, තෙවැනි ටෙන්ඩරය කුලී ආකෘතියයටතේ අඩු කරන ලද සුදුසුකම් සහ නිර්නායක යටතේ, සිවුවැනි ටෙන්ඩරය ඉතිරි ‘ස්ට්රැඩල් කැරියර්ස්’ 15 සඳහා සහ පස්වැනි ටෙන්ඩරය දෙමුහුන් ‘ස්ට්රැඩල් කැරියර්ස්’ සඳහා කැඳවූ බවත් මෙම ටෙන්ඩර් ක්‍රියාවලිය වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව ක්‍රියාත්මක කළ බවත් එම සංගමය සඳහන් කරයි.
මෙලෙස ප්‍රසම්පාදන පිරිවිතරය වෙනස් කිරීම හරහා පර්යන්තයේ ප්‍රධානම උපකරණ වර්ගයක් වන සහ පර්යන්තයේ මෙහෙයුම්වලින් විශේෂිත කොටසක් සිදුකිරීමට නියමිත ‘ස්ට්රැඩල් කැරියර්ස්’ ප්‍රසම්පාදනයට පෙර අත්දැකීම් නොමැති ඉසෙඩ්පීඑම්සී සමාගම තේරීපත්වීමට අතිවිශාල ඉඩක් නිර්මාණය කර ඇති අතර තෝරාපත්කරගැනීමේ ක්‍රියාවලිය තුළ ලකුණු ලබාදීමේ ක්‍රමවේදයක් අඩංගු කර නොමැතිවීම මේ සදඟා තවදුරටත් මාර්ගය විවර කරන බව කියන මුදල් කොට්ඨාශියීය ස්වාධීන සේවක සංගමය මෙලෙස පෙර අත්දැකීම් නොමැති සමාගමක් ටෙන්ඩරය ලබාගැනීම හරහා ලෝකයේ අනිකුත් පර්යන්තවල මෙහෙයුම් හැකියාව ඔප්පු කරන ලද ලෝක මට්ටමේ උපකරණ මෙම පර්යන්තයට ලබාගැනිමේ හැකියාව අවහිර කරන බවත්ය.


