දේශීය පුවත්, ප්රධාන පුවත
කොළඹ වරායේ සේවකයෝ පැය 4 ක වැඩවර්ජනයක – වරායේ ලොක්කා පසුබසී
(ඔගස්ටා පෙරේරා)
කොළඹ වරායේ ජයබහලු සහ නැගෙනහිර යන පහලුම් පර්යන්තවල අත්යවශ්ය සේවකයන්ගේ වෙසක් පොහොය වන ලබන 12 සහ 13 නිවාඩු දිනවල දිරි දීමනාව කපාහැරීමට වරාය අධිකාරියේ පරිපාලනය කටයුතු කිරීම නිසා එහි සේවකයෝ ඊයේ රාත්රී පැය 4 කට ආසන්න කාලයක් වැඩ වර්ජනයකට නිරත වූහ.
එම පර්යන්තවල සේවකයෝ ඊයේ රාත්රී 8.15 සිට මධ්යම රාත්රී 12.00 දක්වා වැඩවර්ජනයේ නිරත වූ බවත් ඒ හේතුවෙන් අවම වශයෙන් වරාය අධිකාරියට රුපියල් කෝටි 30 ක පමණ අලාභයක් සිදුවන්නට ඇති බවත් වරාය අධිකාරිය වෘත්තීය සමිති පවසයි.
වරාය අධිකාරී පරිපාලනය එම සේවකයන්ගේ නිවාඩු දින අතිකාල දීමනාව පැවති ක්රමයටම දෙන බවට නැවතත් ලිපියක් නිකුත් කිරීමෙන් පසු අද (10) අලුයම 12.15 ට පමණ සේවකයන් වැඩ වර්ජනය අතහැර දැමූ බව ද වෘත්තිය සමිති සඳහන් කළේය.
සේවකයන් මෙම වැඩවර්ධනය ආරම්භ කරන විට එම පර්යන්ත දෙකේ භාණ්ඩ නෞකා 6 ක් නැංගුරන් ලා තිබූ බවත් වර්ජනය හේතුවෙන් එම නෞකා හයේ කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිටි බවත් වෘත්තීය සමිති කීය.
වරාය අධිකාරියේ උසස් නිලධාරියකුගේ අත්තනෝමතික තීරණයකට අනුව අදාළ පර්යන්ත දෙකේ අත්යවශ්ය සේවකයන්ට වසර ගණනාවක සිට නිවාඩු දින සඳහා ගෙවූ අතිකාල දීමනාව කප්පාදු කර තිබූ බව කී වෘත්තීය සමිති එම දීමනාව පෝය දින යෙදෙන 12 වැනිදා උපරිමය රුපියල් 10,000 ක සහ පෝය දිනට පසු දින එනම් 13 වැනිදා උපරිමය රුපියල් 5000 ක අතිකාල දීමනාවක් පමණක් ගෙවන බවට වරාය අධිකාරියේ පරිපාලනය ලිපියක් මගින් දැනුම් දී තිබූ බව ද සඳහන් කළේය.
වරාය අධිකාරියේ පරිපාලනයේ සිටින අඛණ්ඩව චෝදනා එල්ල වූ උසස් නිලධාරියෙක් අත්තනෝමතිකව මෙම තීරණ ගෙන ඇති බවත් සේවකයන්ට ලැබෙන වැටුප පිළිබඳව අදාල නිලධාරියා මීට පෙර ද මාධ්ය හරහා චෝදනා කර තිබූ බවත් වරාය අධිකාරියේ වෘත්තීය සමිති වැඩිදුරටත් පැවසීය.


