කෝටි 550 කට අධික වටිනාමත්ද්‍රව්‍ය – දේපළ භාරයට ගනී

මෙරට මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් පාලන කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ‘යුක්තිය’ මෙහෙයුම යටතේ මාසයක් තුළ රුපියල් කෝටි 500 කට (මිලියන 4791) ආසන්න වටිනාකමින් යුත් මත්ද්‍රව්‍ය සහ රුපියල් කෝටි 72 කට අධික වටිනාකමින් යුත් දේපළ පොලිස් භාරයට ගෙන ඇති බව වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පසුගියදා පැවසීය.
දෙසැම්බර් මස 17 වැනිදා ආරම්භ කළ ‘යුක්තිය’ මෙහෙයුම මාසයක කාලයක් දිවයින පුරා කළ මෙහෙයුම්වලදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 38,225 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 2,365 ක් සමඟ සැකකරුවන් 40,590 ක් අත්අඩංගුවට ගත් බවත් වැඩබලන පොලිස්පතිවරයා කීය.
එම කාලය තුළ හෙරොයින් කිලෝ 73 ක්, අයිස් කිලෝ 206 ක්, අබිං කිලෝ 49 ක්, හෂීස් කිලෝ 7 ක්, ඈෂ් කිලෝ 36 ක් සහ ගංජා කිලෝ 655 ක් ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවත් එහිදී මත්පෙති ලක්‍ෂයකට ආසන්න සංඛ්‍යාවක් අත්අඩංගුවට ගත් බවත් ඒ මහතා සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 38,225 දෙනා අතරින් සැකකරුවන් 1,703 කට රැදවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරන අතර, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවුවන් 1,867 ක් පුනරුත්තාපනය සදහා යොමු කර ඇත.
නීති විරෝධී වත්කම් විමර්ශන ආරම්භ කළ සැකකරුවන් ගණන 225 ක් වන අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 2,801 ක් ද අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 2,365 දෙනා අතර මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 536 ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 1,499 ක් ද සිටිති.
ඇගිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගෙන නොමැතිව සිටි සැකකරුවන් 149 ක් සහ අපරාධ වලට අවශ්‍ය කරන සැකකරුවන් 181 ක්ද මෙහෙයුම් වලදී අත්අඩංගුවට ගෙන ඇත.

(විරාන් සවිතු)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.