(ඔගස්ටා පෙරේරා)
ඊෂි කෑෂ් – එම් කෑෂ් හරහා මත්ද්‍රව්‍ය ජාවාරම කරන්නේ යැයි සැක පුද්ගලයන් 316 ක් සැකපිට අත්අඩංගුවට ගත් බවත් ඒ අතර මත්ද්‍රව්‍ය ජාවාරමට සෘජුවම සම්බන්ධ සැකකරුවන් 20 ක් සහ අපරාධවලට සම්බන්ධ සැකකරුවන් 11 ක් සිටින බවත් පොලිස් මුලස්ථානය පවසයි.
එහිදී ඊෂි කෑෂ් – එම් කෑෂ් මධ්‍යස්ථාන 1,964 ක්, අවසරලත් පුද්ගලික සන්නිවේදන මධ්‍යස්ථාන 2,131 ක්, මුදල් ගෙවන ජංගම යන්ත්‍ර පිහිටි ස්ථාන 1,074 ක් සහ හදුනාගත් වාණිජ බැංකු ශාඛා සහිත ස්ථාන 1,202 ක් ආශ්‍රිතව කළ මෙහෙයුමකදී මෙම පිරිස අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කීය.
මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ බවට හදුනාගත් සැකකරුවන්ගේ මත්ද්‍රව්‍ය ජාලය පිළිබඳව කරුණු අනාවරණය කර ගැනීම මෙන්ම ඔවුන් නීති විරෝධීව උපයා ගෙන ඇති වත්කම් පිළිබඳව විමර්ශන ආරම්භ කරන බව ද පොලිසිය සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය මිලදීගැනීමට මුදල් ගෙවීමේ ක්‍රමයක් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ඊෂි කෑෂ් – එම් කෑෂ් වැනි ක්‍රමවේදයන් යොදා ගන්නා බවට ලැබී ඇති තොරතුරු අනුව, එම මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට බුද්ධි නිලධාරීන්ගේ සහාය ඇතිව දිවයින පුරා පොලිස් ස්ථාන ආවරණය වන පරිදි විශේෂ මෙහෙයුමක් දියත් කළ බව ද පොලිස් මූලස්ථානය වැඩි දුරටත් සඳහන් කරයි.


