(ඔගස්ටා පෙරේරා)
යුරෝපා සංගමයේ ශ්රී ලංකා තානාපති කාමෙන් මොරෙනෝ මහත්මිය සහ ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අතර විශේෂ හමුවක් ජනතා විමුක්ති පෙරමුණ ප්රධාන කාර්යාලයේදී අද (13) පැවැත්විණි.
මෙරට ආර්ථික අර්බුදය සහ පවතින දේශපාලන තත්වය, මානව හිමිකම් ආරක්ෂා කිරීම, ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කිරීම සහ මැතිවරණ කල්දැමීම පිළිබඳව එහිදී සාකච්ඡා කළ බව ජාතික ජන බලවේගය පවසයි.
මාර්ගගත ක්රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතට මෙම සාකච්ඡාවේදී විශේෂ අවදානය යොමු වූ බවත් දෙපාර්ශ්වය අතර සබඳතා ශක්තිමත් කරගැනීම පිළිබඳවත් එහිදී සාකච්ඡා කර තිබේ.
යුරෝපා සංගමයේ ශ්රී ලංකා නියෝජිත පිරිසේ නියෝජ්ය ප්රධානි ලාර්ස් බ්රෙඩාල් සහ ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික විජිත හේරත් යන මහත්වරු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



