(ෂෙනික ගමගේ)
ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර සිලාත්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්රිකට් තරගයේ තෙවැනි දිනය වූ අද (24) තරගය අත්හිටුවන විට ශ්රී ලංකා පිල ප්රබල තත්වයක පසුවිය.
දිනය අවසන් වන විට බංග්ලාදේශය දෙවැනි ඉනිමේදී කඩුලු 5 ක් දැවී ලකුණු 47 ක් රැස්කර තවත් ලකුණු 464 ක පසු පසින් සිටීමෙන් දැඩි අසීරු අඩියකට වැටී සිටියේය.
තෙවැනි දිනයේ ක්රීඩාව ආරම්භ කරන විට දෙවැනි ඉනිමේ කඩුලු 5 ක් දැවී 119 ක් රැස්කර සිටි ශ්රී ලංකාව ලකුණු 418 ක් කරමින් ලකුණු 510 ක් ඉදිරියට ඒමට සමත් විය.
පළමු ඉනිමේදී ද ශතක දෙකක් රැස්කරමින් බංග්ලාදේශය අන්දමන්ද කළ නායක ධනංජය ද සිල්වා (108) සහ කමිඳු මෙන්ඩිස් (164) නැවතත් ශතක දෙකක් රැස්කරමින් හත්වැනි කඩුල්ලට ලකුණු 173 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ශ්රී ලංකාව ප්රබල තත්වයකට රැගෙන ඒමට සමත් වූහ.
කමිඳු මෙන්ඩිස් රැස්කළ ශතක දෙක ලෝක ටෙස්ට් ක්රිකට් ඉතිහාසයේ අංක 7 හෝ ඊට පහළ පිතිකරුවෙක් ඉනිම දෙකේදීම ශතක රැස්කළ පළමු අවස්ථාව ලෙස ටෙස්ට ක්රිකට් වාර්තා පොතට එකතු විය.
ධනංජය ද සිල්වාගේ ශතක දෙක ශ්රී ලංකා ටේස්ට් නායකයෙක් ඉනිම දෙකේදීම ශතක රැස්කළ පළමු අවස්ථාව මෙන්ම එම ශතක දෙකත් සමඟ ධනංජය ද සිල්වා ඉනිම දෙකේදීම ශතක රැස්කළ හය වැනි ශ්රී ලාංකිකයා බවට පත්කළේය.
කමිඳු මෙන්ඩිස් ශතක දෙකක් රැස්කිරීමත් සමඟ ටෙස්ට් තරගයක ඉනිම දෙකේදීම ශතක දෙකක් රැස්කළ හත්වැනි ශ්රී ලාංකිකයා බවට පත්විය.
ධනංජය සහ කමිඳු රැස්කළ මෙම ශතක හතර ලෝක ටෙස්ට් ක්රිකට් ඉතිහාසයේ තරගයකදී එකම කණ්ඩායමේ එකම ක්රීඩකයන් දෙදෙනා ශතක දෙක බැගින් රැස්කළ තෙවැනි අවස්ථාව ද වේ.
ශ්රී ලංකා පළමු ඉනිම සියලු දෙනා දැවී 280
(ධනංජය ද සිල්වා 102, කමිඳු මෙන්ඩිස් 102, කලීඩ් අහමඩ් 72/3, නහීඩ් රනා 87/3)
බංග්ලාදේශ පළමු ඉනිම සියලු දෙනා දැවී 188
(තයිජුල් ස්ලාම් 47, ලින්ටන් දාස් 25, කලීඩ් අහමඩ් 22, විශ්ව ප්රනාන්දු 48/4, කසුන් රාජිත 56/3, ළහිරු කුමාර 31/3)
ශ්රී ලංකා දෙවැනි ඉනිම සියලු දෙනා දැවී 418
(දිමුත් කරුණාරත්න 52, ඇන්ජලෝ මැතිව්ස් 22, ධනංජය ද සිල්වා 108, කමිඳු මෙන්ඩිස් 164, ප්රභාත් ජයසූරිය 25, නහීඩ් රනා 128/2, තයිජුල් ස්ලාම් 75/2, මෙහෙදි හසන් මිරාෂ් 74/4)
බංග්ලාදේශ දෙවැනි ඉනිම කඩුලු 5 ට 47
(විශ්ව ප්රනාන්දු 13/3)


