පවුල් ආරවුලක් හේතුවෙන් සිය බිරිඳ ඝාතනය සඳහා අත්බෝම්බයක් ද රැගෙන හංවැල්ල ජල්තර රාජ්ය සේවක නිවාස සංකීර්ණයට අද (5) රාත්රී පැමිණි පුද්ගලයෙක් ඔහුගේම දරුවන් දෙදෙනා ප්රාණ ඇපයට ගැනීම නිසා එම නිවාස සංකීර්ණ තුළ දැඩි උණුසුම් තත්වයක් ඇති වූ බව එහි පදිංචිකරුවෝ පැවසූහ.
පොලිස් විශේෂ කාර්ය බලකා බෝම්බ නිෂ්ක්රීය අංශය සහ හංවැල්ල පොලිසිය එක්ව දරුවන් ප්රාණ ඇපයෙන් මුදාගැනීමට කටයුතු කරමින් සිටි බව එම නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෝ කීහ.
සැමියා පැමිණ ඇති බව දැනගත් බිරිඳ නිවසින් පළායෑමත් සමඟ අදාල පුද්ගලයා දස හැවිරිදි දියණිය සහ වයස අවුරුදු දෙකක් වන පුත්රයා නිවසේ කාමරයක සිරකර ගෙන ඇති බවත් පොලිසිය පැවසීය.
එම පුද්ගලයා අත්බෝම්බයේ අගුල විවෘත කර දරුවන් ප්රාණ ඇපයට ගෙන සිටියදී පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් කළ ඉල්ලීමකට අනුව අගුල යළි සවිකළ බව කී පොලිසිය එම පුද්ගලයා බිරිඳ ගෙන්වා දෙන ලෙස ඉල්ලා සිටි බව ද සඳහන් කළේය.
අදාල පුද්ගලයා විදේශගතව සිට මීට දින කීපයකට පෙර නැවත මෙරට පැමිණ ඇති බවත් බිරිඳ එම නිවාස සංකීර්ණයේ වෙනත් පුද්ගලයෙක් සමඟ සිටින්නේ යැයි ලැබුණු ආරංචියකට අනුව මෙසේ බෝම්බයක් ද රැගෙන පැමිණ ඇති බවත් පොලිසිය වැඩි දුරටත් සඳහන් කළේය.


