ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පසුගිය සතියේ ක්‍රීඩා සංගම් හතරක ලියාපදිංචිය තහනම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කළේය. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, රග්බි සංගමය, මෝටර් රථ සම්මේලනය සහ දැල්පන්දු සම්මේලනය එම ක්‍රීඩා සංගම් බවට පත්වුණා.
එම ක්‍රීඩා සංගම් පසුගිය මැයි මස 31 වැනිදාට පෙර වාර්ෂික මහ සභා රැස්වීම් පැවැත්වීමට අපොහොසත් වීමේ චෝදනාව මෙම තහනමට හේතුවයි.
එම ක්‍රීඩා සංගම් අතරින් මෙරට ප්‍රධාන ක්‍රීඩාවක් වන රග්බි ක්‍රීඩාවේ පාලකයන් වන ශ්‍රී ලංකා රග්බි සංගමයේ ලියාපදිංචිය තහනම් කිරීම වඩාත් කැපී පෙණේ. මෙසේ කිසියම් ක්‍රීඩාවක මව් සංගමයේ පාලනය ක්‍රීඩා අමාත්‍යංශය යටතට පත්වීමෙන් අදාල ක්‍රීඩාවට සිදුවන හානියට ඕනෑ තරම් උදාහරණ ඉදිරිපත් කළ හැකියි.
එම ක්‍රීඩා සංගම්වල පරිපාලනය මේ වන විට ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල්වරයා යටතට පත්කර තිබෙනවා. ක්‍රීඩා අධ්යක්ෂ ජනරාල් ෂෙමාල් ප්‍රනාන්දු මහතා ඉදිරි දිනවලදී රග්බි පරිපාලනය සඳහා නිලධාරීන් කීපදෙනෙක් පත්කිරීමට නියමිත බව ද දැනගන්නට ලැබේ.
හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා රිස්වි ඉල්ලියාස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා රග්බි නිලධාරී මණ්ඩලය විසුරුවා හැර අතුරු කමිටුවක් පත්කිරීමට මීට මාස කීපයකට පෙර කටයුතු කළ අතර එම ක්‍රියාවත් සමඟ ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව වසර ගණනාවක් පසු පසට තල්ලු වූ බව අමුතුවෙන් කිවයුතු නැත.
ශ්‍රී ලංකා රග්බි පාලනය මෙවර ක්‍රීඩා අමාත්‍යංශයට යටතේ පත්වීමේ හේතුව රග්බි නිලධාරීන්ගේ බල තන්හාව යැයි රග්බි ක්ෂේත්රයේ ප්‍රවීණයෝ පවසති. හිටපු රග්බි නිලධාරීන් නිලවරණයක් නොපවත්වා තව දුරටත් තනතුරුවල දැරීමට කළ උත්සහය මෙම තත්වයට හේතුව බව රග්බි ප්‍රවීණයෝ සඳහන් කරති.
රග්බි ක්‍රීඩා පරිපාලනයේ සිටි ඇතැම් නිලධාරීන් ජාත්‍යන්තරයට ගතු කිරීමේ ප්‍රතිඵලයෙන් රග්බි ක්‍රීඩාවට පෞද්ගලික මුදල් පවා වැය කළ රිස්වි ඉල්ලියාස් මහතාට සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය. ඉන් පසුව විශ්‍රාමික ගෲප් කපිතාන් නලීන් ද සිල්වා මහතා වැඩබලන සභාපතිවරයා ලෙස 2023 වසරේ පත්විය. ක්‍රීඩා අමාත්‍යවරයා පසුගියදා එම නිලධාරී මණ්ඩලය විසුරුවා හරින තෙක් නලීන් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් ශ්‍රී ලංකා රග්බි කටයුතු ක්‍රියාත්මක විය.
ශ්‍රී ලංකා රග්බි කටයුතු එසේ ක්‍රියාත්මක තිබියදී පළාත් සංගම් කළ විරෝධතා පිළිබඳව අවධානය යොමු කරමින් ලෝක රග්බි සංගමය, ශ්‍රී ලංකා රග්බි ව්‍යවස්ථාව සංශෝධනයට යෝජනා යොමු කළේය.
විශේෂ මහ සභාවක් රැස්කර ව්‍යවස්ථා සංශෝධනය කිරීමට පෙර මහ සභාව සහ නිලවරණය පවත්වන ලෙස පළාත් සංගම් ඉල්ලා සිටිය ද රග්බි නිලධාරී මණ්ඩලය එය නෑසුණා සේ කල්මැරීය. එහි ප්‍රතිඵලයක් ලෙස පළාත් රග්බි සංගම් කීපයක් ක්‍රීඩා අමාත්‍යවරයාට කළ පැමිණිල්ලකට අනුව ක්‍රීඩා අමාත්‍යවරයා රග්බි සංගමය තහනම් කිරීමේ පියවර ගත්තේය.
ලෝක රග්බි සංගමයේ නිලධාරීන් රග්බි ව්‍යවස්ථාවට ඉදිරිපත් කර ඇති ඇතැම් සංශෝධන ශ්‍රී ලංකාවේ නීතියට පටහැනි බව ද දැනගන්නට ලැබේ. එම ගැටලුව විසඳාගැනීමට ලෝක රග්බි සංගමයේ නිලධාරීන් මෙරටට පැමිණෙන තෙක් කල්මැරීමට නලීන් ද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුත් රග්බි නිලධාරී මණ්ඩලය කටයුතු කළේය.
තව දුරටත් රග්බි පරිපාලනයේ රැදී සිටීම එම කල්මැරීමේ ප්‍රධාන අරමුණ බවට පත්වූ බව ප්‍රසිද්ධ රහසකි. එම නිලධාරී මණ්ඩලයේ සිටි බොහෝ දෙදෙනෙක් රග්බි පරිපාලනය අත්හැරීමට අකමැත්තෙන් පසුවූ යැයි වාර්තා වෙයි. එම නිලධාරී මණ්ඩලයේ සිටි ආරක්ෂක අංශයකට සම්බන්ධ යැයි කියන ප්‍රධාන නිලධාරීයෙක් ජීවිතාන්තය දක්වා තනතුරේ රැදී සිටීමේ අරමුණින් පසුවූ බව රග්බි ක්ෂේත්රයේ කථා බහට ලක්ව තිබේ.
ඔවුන්ගේ බලාපොරොත්තු සුන් කරමින් ක්‍රීඩා අමාත්‍යංශය ඉදිරියේදී එම අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් මහ සභාව සහ නිලවරණය පවත්වනු ඇති බව දැනගන්නට ලැබේ.
ෂෙනික ගමගේ



