රග්බි විශේෂ මහ සභාවට අධිකරණයෙන් තහනමක්


ක්‍රීඩා අමාත්‍යංශයේ මැදිහත්වීමෙන් හෙට (15) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා රග්බි විශේෂ මහ සභාවේදී රග්බි නව ව්‍යවස්ථාව පිළිබඳව කටයුතු කිරීම අත්හිටුවමින් අභියාචනාධිකරණය අතුරු තහනම් නියෝගයක් පනවා තිබේ.
ශ්‍රී ලංකා රග්බි විශේෂ මහ සභා රැස්වීම ක්‍රීඩා අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී හෙට පස්වරු 4.30 ට ආරම්භ වීමට නියමිතය.
එම විශේෂ මහ සභාවේ න්‍යාය පත්‍රය කරුණු 6 කින් සමන්විත වන අතර ඒ අතරින් සංශෝධිත රග්බි ව්‍යවස්ථා කෙටුම්පත සභාගත කිරීම, සංශෝධිත රග්බි ව්‍යවස්ථා කෙටුම්පතට අදාළ කරුණු සාකච්ඡා කිරීම සහ යෝජිත රග්බි ව්‍යවස්ථාව සම්මත කරගැනීම සහ/හෝ යෝජිත ශ්‍රී ලංකා රග්බි ව්‍යවස්ථාවේ සංශෝධන සම්මත කිරීම යන කාර්යයන් ඉටුකිරීම අභියාචනාධිකරණය තහනම් කර තිබේ.  
නිවරණය කමිටුවක් පත්කිරීම ඇතුළු න්‍යාය පත්‍රයේ ඉතිරි කටයුතු තුන ක්‍රියාත්මක කිරීමට අධිකරණ තීන්දුවෙන් බාධාවක් නොමැත.
ක්‍රීඩා අමාත්‍යංශය පුවත්පත් දැන්වීම් පළකර පවත්වන මෙම විශේෂ මහ සභාවේදී රග්බි ව්‍යවස්ථාව සංශෝධනය කිරීම වළක්වන ලෙස පළාත් රග්බි සංගම් 7 ක් අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
විශේෂ මහ සභා රැස්විමේදී ව්‍යවස්ථාවට සංශෝධන කිරීමට කටයුතු කිරීම රග්බි ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කිරීමක් බවත් ක්‍රීඩා අමාත්‍යවරයා පසුගිය මැයි 29 වැනි දින ගැසට් නිවේදනයක් හරහා නිසි බලධාරියා ලෙස පත්කළ ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු මහතා රග්බි ව්‍යවස්ථාවට සංශෝධන යෙදීමේ නිසි ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන්ම කඩකර ඇතැයි බවත් එහිදී පළාත් රග්බි සංගම් අධිකරණය දැනුවත් කළේය.
ශ්‍රී ලංකා රග්බි සාමාජිකත්ව දරණ පළාත් අටෙන් සබරගමුව හැර පළාත් බස්නාහිර, මධ්‍යම, ඌව, වයඹ, උතුරුමැද, නැගෙනහිර සහ දකුණ යන පළාත් සංගම් විශේෂ මහ සභාවේ න්‍යාය පත්‍රයේ 4, 5 සහ 6 අයිතමවලට අභියෝග කරමින් අධිකරණයට කරුණු වාර්තා කළේය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.