වරායේ එම්ඩී ඉවත් කිරීම මැතිවරණ කොමිසම නවත්වයි

  • එම්ඩී වෙනුවෙන් අධිකරණයට යෑමේ සූදානමක්
(ඔගස්ටා පෙරේරා) ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ ප්‍රභාත් මලවිගේ මහතා ඉවත් කර වෙනත් පුද්ගලයෙක් එම තනතුරට පත්කිරීමට වර්තමාන ආණ්ඩුව කර සැලසුම අත්හිටුවීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. ප්‍රවාහන මහාමාර්ග, වරාය හා සිව්ල් ගුවන් සේවා අමාත්‍යාංශය මෙම සැලසුම ක්‍රියාත්මක කර තිබූ අතර නව පත්කිරීම අත්හිටුවා දින තුනක් තුළ වාර්තාවක් දෙන ලෙස මැතිවරණ කොමිසම එම අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපියක් යොමුකර තිබේ. මැතිවරණයක් කැඳවා ඇති මෙම අවස්ථාවේදී එම කොමිසමේ පූර්ව අනුමැතිය නොමැතිව කර ඇති මෙම ස්ථාන මාරුව අනුමත කළ නොහැකි බව ද කියන මැතිවරණ කොමිසම මලවිගේ මහතාගේ ස්ථාන මාරුව අවලංගු කරන බව ද සඳහන් කර තිබේ. තරුණ දක්ෂ නිලධාරියකු වන ප්‍රභාත් මලවිගේ මහතා ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ස්ථීර සේවකයකු වන අතර ඒ මහතා පියවරෙන් පියවරට එම තනතුරට පැමිණි නිලධාරියකු බවද වරාය වෘත්තිය සමිති පවසයි. ඒ මහතාට විශ්‍රාම යාමට තවත් වසර 10 ක පමණ කාලයක් ඇති බව ද වෘත්තීය සමිති නියෝජිතයෝ සඳහන් කළහ. ආණ්ඩුවේ මෙම ක්‍රියාකලාපය සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බවත් මලවිගේ මහතා කිසිදු අවස්ථාවක ආයතන තුළ දේශපාලනය නොකළ බවත් වෘත්තීය සමිති නියෝජිතයෝ වැඩිදුරටත් කීහ. වරාය අධිකාරියේ නව කළමනාකාර අධ්‍යක්ෂකවරයා ලෙස පත්කළ නිලධාරියා වැඩ භාරගැනීමට සූදානමින් සිට ඇති බව ද දැනගන්නට තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.