ක්‍රීඩා, දේශීය පුවත්
ශ්‍රී ලංකාව කඩුලු 9 ට 229 යි
(ෂෙවෝන් ප්‍රනාන්දු, ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)
ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ ගාල්ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී අද (6) ආරම්භ වූ දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයේ පළමු දිනයේ ක්‍රීඩාව අවසන් කරන විට ශ්‍රී ලංකා පිල පළමු ඉනිම වෙනුවෙන් කඩුලු නවයක් දැවී ලකුණු 229 ක් රැස්කර සිටියේය.
පළමු දිනයේ ක්‍රීඩාව අවසන් කරන විට කුසල් මෙන්ඩිස් (නොදැවී 59) සහ ළහිරු කුමාර (නොදැවී 0) පන්දුවට පහර දෙමින් සිටියහ.
කුසල් මෙන්ඩිස් පන්දු 107 කින් හතරේ පහර හයක් සහ හයේ පහරක් සමගින් ලකුණු 59 ක් රැස්කර සිටියේය.
දිනේෂ් චන්දිමාල් ඉනිමේ ඉහළතම ලකුණු ලාභියා බවට පත්වීමෙන් පන්දු 163 කදී හතරේ පහර හයක් සහ හයේ පහරක් සමගින් ලකුණු 74 ක් රැස්කිරීමට සමත් විය.
ලකුණු 150 කට කඩුලු හයක් බිඳ වැටී තිබියදී දිනේෂ් චන්දිමාල් සහ රමේෂ් මෙන්ඩිස් හත්වැනි කඩුල්ලට ලකුණු 65 ක සම්බන්ධතාවක් පවත්වමින් ඉනිමට යම් පණක් ගෙන ඒමට සමත් වූහ.
රමේෂ් මෙන්ඩිස් පන්දු 94 ක් කඩුල්ල ආරක්ෂා කර ගනිමින් ලකුණු 28ක් රැස් කළේය.
පැතුම් නිස්සංක (11), ඇන්ජලෝ මැතිව්ස් (1), නායක ධනංජය ද සිල්වා (0) සහ කමිදු මෙන්ඩිස් (13) ලකුණු අතරට ඒමට අසමත් වීමෙන් ඉනිම කඩා වැටුණි.
සියවැනි මෙන්ම අවසන් ටෙස්ට් තරගයට සහභාගි වී සිටින හිටපු නායක දිමුත් කරුණාරත්න පන්දු 83 කදී හතරේ පහර තුනක් සමගින් ලකුණු 36ක් රැස්කර සිටියදී දෙවැනි කඩුල්ල ලෙස දැවී ගියේය.
මිචෙල් ස්ටාක් (37/3) සහ නේතන් ලයන් (78/3) ශ්‍රී ලංකා ඉනිම අඩපණ කරමින් කඩුලු තුන බැගින් දවාගැනීමට සමත් වූහ.
ශ්‍රී ලංකාව පළමු ඉනිම ඕවර 90 කදී කඩුලු 9 ට 229
(දිමුත් කරුණාරත්න 36, දිනේෂ් චන්දිමාල් 74, කුසල් මෙන්ඩිස් නොදැවී 59, රමේෂ් මෙන්ඩිස් 28, මිචෙල් ස්ටාක් 37/3, මැතිව් කුනේමන් 53/2, නේතන් ලයන් 78/3)


