දේශීය පුවත්, ප්රධාන පුවත, වාණිජ විත්ති
ආණ්ඩුව ‘එතනෝල්’ විකිණීමත් අරඹයි
(ඔගස්ටා පෙරේරා)
සීනි නිෂ්පාදනයේ අතුරු ඵලයක් වන ‘එතනෝල්’ අරක්කු නිෂ්පාදනය කරන සාමාගම්වලට හෙට (2) සිට අළෙවි කරන බව කර්මාන්ත සහ ව්යවසායකත්ව සංවර්ධන අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතා අද (1) පස්වරුවේ පැවසීය.
‘එතනෝල්’ අවම වශයෙන් රුපියල් 800 ක මිලට හෙට සිට අළෙවි කරන බව කී අමාත්යවරයා ලංකා සීනි සමාගම සතුව මේ වන විටත් ‘එතනෝල්’ විශාල ප්රමාණයක් ඇති බව ද සදඟන් කළේය.
දේශපාලන උවමනාවක් මත සකස් කළ මිලක් ලෙස ගොවීන්ට උක්ගස් මෙටි්රක්ටොන් එකකට රුපියල් 10,000 ක් ගෙවන බවත් එම මිල අඛණ්ඩව ගෙවීමට නම් අනිවාර්යෙන් ‘එතනෝල්’ අළෙවි කළ යුතු බවත් පැවසීය.
ලංකා සීනි සමාගම සතු සීනි කර්මාන්ත ශාලා දෙක වන පැල්වත්ත සහ සෙවනගල යන කර්මාන්තශාලාවලින් අතුරු ඵලයක් ලෙස ලැබෙන ‘එතනෝල්’වලින් අරක්කු නිෂ්පාදනයට ඉල්ලීමක් කළ ද සුරාබදු දෙපාර්තමේන්තුවෙන් අවසර නොලැබුණු බවත් ‘එතනෝල්’ අපතේ යැවිය නොහැකි නිසා විකිණීමට තීරණය කළ බවත් අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතා සඳහන් කළේය.
ගොවි ජනතාවට සාධාරණ මිලක් දීම සඳහා ‘එතනෝල්’ අළෙවිකිරීම හැර වෙනත් විකල්පයක් නොමැති බවත් සීනි අපනයනය කිරීමේ අවස්ථාව පිළිබඳව ද සොයමින් සිටින බවත් හෙතෙම පැවසීය.
ජාත්යන්තර මූල්ය අරමුදලේ පරාමිතීන්වලට අනුව කටයුතු කිරීමට සිදුව තිබීම නිසා මෙරට නිෂ්පාදනය කරන සීනිවලට 2024 සිට වැට් බදු පනවා තිබුණ ද ඉන්දියාවෙන් ආනයනය කරන සුදු සීනිවල වැට් බදු පනවා නොමැති බවත් අමාත්යවරයා කීය.
සෙවනගල සීනි සමාගම වසාදැමීමට ආණ්ඩුව කිසිඳු තීරණයක් ගෙන නොමැති අතර දේශීය සීනි කර්මාන්තය බිඳවැටීමට ඉඩ නොතබන බව ද අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
සෙවනගල සීනි සමාගම පිළිබඳව පසුගිය දිනවල පළවූ ජනමාධ්ය වාර්තා සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (1) පස්වරුවේ පැවැති විශේෂ මාධ්ය හමුවේදී අමාත්ය සුනිල් හඳුන්නෙත්ති මහතා එසේ පැවසීය.


