දේශීය පුවත්, ප්‍රධාන පුවත
විදුලි බිල ඉහළ යන්නේ මෙහෙමයි
(ඔගස්ටා පෙරේරා)
නව විදුලි ගාස්තු සංශෝධනය යටතේ ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 30 ට අඩු කාණ්ඩයේ විදුලිය ඒකකයක මිල රුපියල් 4 සිට 4.50 දක්වා ශත 50 කින් සහ මාසික ගාස්තුව රුපියල් 75 සිට රුපියල් 80 දක්වා රුපියල් 5 කින් ඉහළ ගිය බව මහජන උපයෝගිතා කොමිසම අද (11) පැවසීය.
එම කාණ්ඩයේ ඒකක 30 සිට 60 දක්වා විදුලිය ඒකකයක මිල රුපියල් රුපියල් 6 සිට 8 දක්වා රුපියල් 2 කින් සහ මාසික ගාස්තුව රුපියල් 200 සිට 210 දක්වා රුපියල් 10 කින් ද, ඉහළ ගිය බව ද එම කොමිසම කීය.
ඒකක 61 සිට 90 දක්වා විදුලිය ඒකකයක මිල රුපියල් 14 සිට 18.50 දක්වා රුපියල් 4.50 කින් සහ මාසික ගාස්තුව රුපියල් 400 ලෙස තව දුරටත් නොවෙනස්ව පවතින බවත් ඒකක 91 සිට 120 දක්වා විදුලිය ඒකකයක මිල රුපියල් 20 සිට 24 දක්වා රුපියල් 4 කින් සහ මාසික ගාස්තුව රුපියල් 1000 ලෙස තව දුරටත් නොවෙනස්ව පවතින බවත් කොමිසම සඳහන් කළේය.
ඒකක 121 සිට 180 දක්වා ඒකකයක මිල රුපියල් 33 සිට 41 දක්වා රුපියල් 8 කින් සහ මාසික ස්ථාවර ගාස්තුව රුපියල් 1500 නොවෙනස් පවතින බවත් ඒකක 180 ට වැඩි කාණ්ඩයේ ඒකක මිල රුපියල් 52 සිට 61 දක්වා රුපියල් 9 කින් සහ මාසික ගාස්තුව රුපියල් 2100 ක් දක්වා රුපියල් 100 කින් ඉහළ ගිය බවත් එම කොමිසම සඳහන් කළේය.
ගෘහස්ථ කාණ්ඩයේ ඒකක 30 වඩා අඩු මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩය සදහා මාසික විදුලි බිල රුපියල් 20 කින්, ඒකක 60ක පරිභෝජනය සදහා මාසික බිල රුපියල් 85 කින්, ඒකක 90ක මාසික පරිභෝජනය සදහා මාසික විදුලි බිල රුපියල් 240 කින් ඉහළ යන බව ද කොමිසම කීය.
ඒකක 120ක පරිභෝජනය සදහා රුපියල් 360 කින් ද, ඒකක 150ක මාසික පරිභෝජනය සදහා රුපියල් 600 කින් ද, ඒකක 180 ක මාසික පරිභෝජනය සදහා රුපියල් 840 කින් ද, ඒකක 300 ක මාසික පරිභෝජනය සඳහා රුපියල් 2020 කින් ද, විදුලිය බිල ඉහළ යන බව ද කොමිසම වැඩි දුරටත් පැවසීය.
මාසික පරිභෝජනය ඒකක 90ට වඩා අඩු ආගමික ස්ථාන සහ පුණ්‍යාතන සදහා විදුලි ඒකක මිල මෙන්ම මාසික ස්ථාවර ගාස්තුව මෙම මිල වැඩිවීම හමුව ඉහළ නොයන බව මහජන උපයෝගිතා කොමිසම කියයි.
ඒකක 90ට වඩා අඩු පරිභෝජනයක් සහිත ආගමික ස්ථාන හා පුණ්‍යාතන සදහා වත්මන් ඒකක මිල වන රුපියල් 4.50ක මිල ඉදිරියේදීත් ක්‍රියාත්මක වන බවත් එම කොමිසම කීය.
එම කාණ්ඩවල මාසික ගාස්තු රුපියල් 75 සහ 200 වශයෙන් ස්ථාවරව තව දුරටත් පවතින බව කී එම කොමිසම ඒකක 90 ට වඩා ඉහළ මාසික පරිභෝජනයක් ඇති ආගමික ස්ථාන සඳහා ගාස්තු වැඩිවීමේ බලපෑම සියයට 12 කට සීමා කළ බව ද කොමිසම පැවසීය.
පොදු කාර්ය පාරිභෝගික කාණ්ඩය සඳහා සියයට 14ක ගාස්තු ඉහළ දැමීමක් කළ බවත් කර්මාන්ත සහ හෝටල් අංශ සඳහා සියයට 15 කින් ගාස්තු ඉහළ දැමීමක් ද, රාජ්‍ය ආයතන සදහා සියයට 16 ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් ද නව ගාස්තු යටතේ ඇති බවත් මහජන උපයෝගිතා කොමිසම සඳහන් කළේය.


