නේෂන් ලංකා ෆිනෑන්ස් පරිපාලනයට මහ බැංකුවෙන් නිලධාරියෙක්

(ඔගස්ටා පෙරේරා) ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රලාභී මූල්‍ය සමාගමක් වන නේෂන් ලංකා මූල්‍ය සමාගමේ පරිපාලනය පවත්වාගෙන යෑම සඳහා පාලකවරයෙක් පත්කළ බව නිවේදනයක් නිකුත් කරමින් පවසයි. පී.ඩබ්ලිව්.ඩී.එන්.ආර්. රෝද්‍රිගු මහතා මෙම මස 4 වැනිදා සිට මාස හයක කාලයක් සඳහා නේෂන් ලංකා මූල්‍ය සමාගමේ පරිපාලකවරයා ලෙස පත්කළ බවත් පරිපාලකවරයා එම සමාගමේ වත්කම්, අයිතිවාසිකම්, ව්‍යාපාර සහ කටයුතු පිළිබඳ සම්පූර්ණ පාලනය මෙන්ම සමාගම වෙනුවෙන් ඒවා කළමනාකරණය කරන බවත් මහ බැංකුව අද (7) නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ. එම සමාගම සම්බන්ධයෙන් උද්ගතවී ඇති තත්වය අනුව මහ බැංකුව ඒ සඳහා විසඳුම් ක්‍රියාමාර්ග මේ මස 4 වැනිදා සිට ක්‍රියාත්මක කරන බවත් 2023 අංක 17 දරන බැංකු (විශේෂ විධිවිධාන) පනතේ විධිවිධාන යටතේ මෙම පියවර ගත් බවත් එම නිවේදනයේ සඳහන් කර තිබේ. නේෂන් ලංකා මූල්‍ය සමාගම 2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනතේ සහ ඊට අදාළ නියෝග හා රීති අඛණ්ඩව උල්ලංඝනය කර ඇති බවට හෙළි වී ඇති බවත් ප්‍රමාණවත් නොවන ප්‍රාග්ධනය, දුර්වල වත්කම්, අඛණ්ඩ පාඩු සහ තැන්පත්කරුවන්ට මුදල් ආපසු ගෙවීමට අසමත් වීම හේතුවෙන් සමාගමේ මූල්‍ය තත්වය අසතුටුදායක බවට තීරණය කර ඇති බවත් මහ බැංකුව සඳහන් කරයි. එම සමාගමට ගැටලු නිවැරදි කර නියාමනයන්ට අනුකූලවීම සඳහා මහ බැංකුව කිහිප වතාවක්ම අවස්ථාව දුන්නද, සැළකිය යුතු ප්‍රගතියක් දක්නට නොලැබෙන බවත් එහි මූල්‍ය සහ මූල්‍ය නොවන තත්වය පිළිබඳ පුළුල් ඇගයීමකින් පසුව විසඳුම් ක්‍රියාමාර්ග සමඟ ඉදිරියට යාමට තීරණය කළ බවත් එම නිවේදනයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි දුරටත් සඳහන් කරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.