දේශීය පුවත්
තුන්හැවිරිදි දැරිය අපයෝජනය කළාට මාමා වසර 12 ක් හිරේ
(හෝමාගම – සජිත් පීරිස්)
තුන්හැවිරිදි දැරියකට බරපතල ලිංගික අපයෝජනයක් කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ වින්දිත දැරියගේ 36 හැවිරිදි සමීප ඥාති මාමාට වසර 12 බරපතල වැඩසහිත සිර දඬුවමක් හෝමාගම මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අද (3) නියම කළේය.
වයස අවුරුදු 46 වන හෝකන්දර පදිංචි එක්දරු පියකුට මෙම සිර දඬුවම නියම කළ මහාධිකරණ විනිසුරුවරයා රුපියල් 25,000ක දඩයක් ද පැනවීය.
මේ වන විට 13 වැනි වියේ පසුවන ඇයට රුපියල් ලක්ෂ 3ක වන්දියක් නියම කළ විනිසුරුවරයා එම දඩ සහ වන්ඳි මුදල නොගෙවන්නේ නම් තවත් වසර එකහමාරක ලිහිල් වැඩසහිත සිරදඬුවමක් ද නියම කළේය.
වරදකරු විසින් දැරිය බයිසිකල් පැද්දවීමට යන බව පවසමින් රැගෙන ගොස් අපයෝජනය කර ඇති බව අධිකරණයේදී හෙළිවිය. 2010 ජූලි මස 9 වැනි දින හෝකන්දරදී වයස අවුරුදු 16 ට අඩු දැරියකට ලිංගික අපයෝජනයක් කිරීමේ චෝදනාවට නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව මෙම නඩුව ගොනුකර තිබිණි.
පැමිණිල්ල සාධාරණ සැකයින් ඔබ්බට ඔප්පු කර ඇති බව සඳහන් කරමින් මෙම තීන්දුව නිකුත් කළ මහාධිකරණ විනිසුරුවරයා සැකකරුට පෙර වැරදි නොමැති වුවද මෙවන් බරපතළ ලිංගික අපයෝජනයක් කිරීම සම්බන්ධයෙන් ලිහිල් දඬුවමක් පැනවුවහොත් සමාජය අධිකරණය දෙස වැරදි ආකල්පයක් ඇති කරගන්නා බව වැඩි දුරටත් සඳහන් කළේය.


