දේශීය පුවත්, ප්‍රධාන පුවත
ඉෂාරා ඉන්දියාවට පනින්න ලක්‍ෂ 65 ක් වියදම් කරලා
(සාලිය සමන්)
සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජීක ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකාරිය වන ඉෂාරා සෙව්වන්දි නැමැත්තිය රුපියල් ලක්ෂ 65ක් පමණ වැය කර ඉන්දියාවට පලාගොස් එහි සති තුනක පමණ කාලයක් එහි රැඳීසිට ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසීය.
නේපාලයේදී අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ ශ්‍රී ලංකා පොලීසිය රාජතාන්ත්‍රීක අනුග්‍රහය ඇතිව එරටදී කළ විශේෂ මෙහෙයුමකින් බවත් අත්අඩංගුවට පත්වූ එම අපරාධකරුවන් ඉදිරි දින කිහිපය තුළ දිවයිනට රැගෙන ඒමට නියමිත බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
පොලිස්පතිවරයාගේ ඍජු මැදිහත්වීමෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සහ විශේෂ පොලිස් කණ්ඩායමක් ඒකාබද්ධව කළ මෙහෙයුමකින් ඉෂාරා සෙව්වන්දිව නේපාලයේදී අත්අඩංගුවට ගත් බවත් ඉෂාරා සෙව්වන්දි සමඟ තවත් සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට පත්වූ බවත් ඒ මහතා කීය. එහිදී තවත් කාන්තාවක් හා කෙහෙල්බද්දර පද්මේගේ සමීපතයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා එම පිරිස අතර ඉෂාරා සෙව්වන්දිට රැකවරණය දුන් ද්‍රවිඩ පුද්ගලයෙකු ද සිටින බව ද සඳහන් කළේය.
සංවිධානාත්මක අපරාධකරුවකු වන සංජීව කුමාර සමරරත්න නොහොත් ගණේමුල්ල සංජීව නැමැත්තා පසුගිය පෙබරවාරි 19 වැනිදා අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී වෙඩිතබා ඝාතනය කිරීමෙන් පසු ඝාතනය කළ වෙඩික්කරු බවට පැවසෙන සමිඳු දිල්ෂාන් පියුමංග නැමැත්තාව එදිනම පුත්තලම, පාලවිය ප්‍රදේශයේදී විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්වූ බවත් අනතුරුව විමර්ශන නිලධාරීන් අධිකරණ සංකීර්ණයේ පිහිටි සීසීටීවී කැමරා පරීක්ෂා කළ අතර එහිදී කාන්තාවක් ද වෙඩික්කරුගේ සහායට පැමිණ ඇති බව අනාවරණ වූ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
අදාළ කාන්තාව නීති ක්ෂේත්‍රයේ භාවිත කරන පොතක් තුළ වෙඩිතැබීම සඳහා භාවිත කළ ගිනිඅවිය රැගෙනවිත් ඇති බවත් එම කාන්තාව මිනුවන්ගොඩ පදිංචි ඉෂාර සෙව්වන්දි නම් කාන්තාවක් යැයි හදුනාගත් බවත් පොලිසිය මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
එම අපරාධය කළේ යැයි කියන ඉෂාරා සෙව්වන්දි, මිද්දෙණිය ඇතුළු ප්‍රදේශ රැසකට ගොස් යාපනය ප්‍රදේශයෙන් ඉන්දියාවට පලාගොස් ඇති අතර එයට ජේ. කේ. බායි නැමැත්තා උපකාර කර ඇතැයි ද වාර්තා වන බව ද එෆ්.යූ. වුට්ලර් මහතා පැවසීය.
ඉන් අනතුරුව ඉෂාරා බස්වලින් සහ දුම්රියෙන් පලාගොස් ඇති අතර දින 7 කට පසුව ඇය නේපාලයට ළඟා වී ඇතැයි ද වාර්තා වන බවත් නේපාලයේ කඳුකර ප්‍රදේශයක තට්ටු නිවසක ඉහළ මහලේ රැඳී සිටියදී ඊයේ (13) මෙලෙස අත්අඩංගුවට පත්වූ බවත් ඒ මහතා කීය.
ඉෂාරා සෙව්වන්දිට ආදේශකයක් ලෙස යොදාගත් වෙනත් කාන්තාවක් සඳහා ද විවිධ රටවලට පලායෑමට හැකි වන අයුරින් පාස්පෝට් සකස් කර ඇතැයි ද අනාවරණය වූ බව පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා කීය.
ඉෂාරා සෙව්වන්දිට ශ්‍රී ලංකා පොලීසිය රතු නිවේදනයක් නිකුත් කර තිබුණු බව ද කී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා රටින් පලාගොස් සිටින අපරාධකරුවන් 40 දෙනෙකුට මේ වනවිට රතු නිවේදන නිකුත් කර ඇති බවත් පැවසීය.
එම අපරාධකරුවන් අතරින් 18 දෙනෙකු මෙම වසර තුළ මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇතැයි ද ඒ මහතා වැඩි දුරටත් පැවසීය.


