ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

(ඔගස්ටා පෙරේරා) ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 775 කින් ඉහළ දැමූ බව ලිට්‍රෝ ගෑස් සමාගම අද (5) පස්වරුවේ නිවේදනය කළේය. ඒ අනුව කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 308 කින් ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 140 කින් ද, ඉහළ දැමූ බවත් නව මිල අද (5) මාධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන බවත් එම සමාගම පැවසීය. එම මිල ඉහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල්  4,765 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1,910 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 890 දක්වා ද ඉහළ ගිය බවත් එම සමාගම සඳහන් කළේය. ගෝලීය යුධමය තත්වය හේතුවෙන් ලෝක වෙළෙඳපොලේ එල්පී ගෑස් මිල සීග්‍රයෙන් ඉහළ යෑම නිසා ආනයනික පිරිවැය ඉහළ ගොස් ඇති බවත් එළඹෙන අලුත් අවුරුදු සමය සහ ජීවන වියදම සැළකිල්ලට ගෙන ලෝක ගෑස් මිල ඉහළ යෑමට සාපේක්‍ෂව මිල සංශෝධනය කළ බවත් ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති චන්න ගුණවර්ධන මහතා පැවසීය. මෙම මාසය සඳහා ඇනවුම් කර ඇති ගෑස් මෙටි්‍රක්ටොන් 38,000 ගෑස් තොගය මේ වන විට මාලදිවයිනේ පාවෙන ගබඩාවේ ඇති බවත් ඒ හේතුවෙන් සැපයුම අඛණ්ඩව ක්‍රියාත්මක කළ හැකි බවත් චන්න ගුණවර්ධන මහතා වැඩි දුරටත් සඳහන් කළේය. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.