වාහන අංක තහඩු මුද්‍රණය අරඹයි


(ඔගස්ටා පෙරේරා)
වසරකට වැඩි කාලයක් අත්හිටුවා තිබූ වාහන අංක තහඩු මුද්‍රණය හෙට (8) පෙරවරුවේ ආරම්භ කරන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය.
වේරහැර පිහිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තු පාරිශ්‍රයේදී වාහන අංක තහඩු මුද්‍රණය නිලවශයෙන් හෙට පෙරවරු 10.00 ට  නැවත ආරම්භ කරන බවත් එම අවස්ථාවට ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සහභාගිවීමට නියමිත බවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ එම නිලධාරියා සඳහන් කළේය.
මෝටර් වාහන අංක තහඩු මුදුණය කිරීමේ ටෙන්ඩරයේ ගැටලුවක් හේතුවෙන් පසුගිය 2025 වසරේ මැයි මස 16 වැනිදා අංක තහඩු මුද්‍රණය කිරීම අත්හිටුවීය.
අංක තහඩු මුදුණය කිරීම අත්හිටුවා වසරක කාලයක් ගතවී ඇති අද වන විට මුද්‍රණය කර නිකුත් කිරීමට වාහන අංක තහඩු ලක්‍ෂ 4 කට අධික සංඛ්‍යාවක් එකතු වී තිබේ.
මෙම අංක තහඩුවට යතුරුපැදි, ත්‍රිරෝද රථ, කාර්, වෑන් සහ බස් ඇතුළු වාහන රැසක් ඇතුළත් අතර යතුරුපැදි අංක තහඩු පමණක් ලක්‍ෂ දෙකකට ආසන්න සංඛ්‍යාවක් මුද්‍රණය කිරීමට ඇති බවත් එම නිලධාරියා කීය.
ඒ අනුව පළමුවෙන්ම පසුගිය වසරේ මාර්තු මස ලියාපදිංචි කළ වාහනවල අංක තහඩු මුද්‍රණය කිරීම ආරම්භ කරන බව කී එම නිලධාරියා ඒ අතරතුර එක්දින සේවයේ ලියාපදිංචි කරන වාහනවල අංක තහඩු ද මුද්‍රණය ආරම්භ කරන බව ද සඳහන් කළේය.
 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.