(සාලිය සමන්)
ගිනස් වාර්තාවක් සඳහා රජයේ නොවන පෞද්ගලික සමාගමකට රාජ්ය අනුග්රහය සැපයීම සහ පවුල් පන්දහකින් පමණ රුපියල් 5,000 බැගින් වූ විශාල මුදල් ප්රමාණයක් එකතුකිරීම යන චෝදනා සම්බන්ධයෙන් නියෝජ්ය අමාත්ය සුන්දරලිංගම් ප්රදීප් මහතාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කරන ලෙස ඉල්ලමින් ජන අරගල සන්ධානය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට අද (26) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
ජන අරගල සන්ධානයේ ජාතික විධායක සභික, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ බහුජන ලේකම් දුමින්ද නාගමුව මහතා ප්රමුඛ එහි නියෝජිතයෝ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට එම පැමිණිල්ල භාරදුන්හ.
ජුනි 14 වෙනිදා ලෝකයේ වැඩිම ශිෂ්යන් පිරිසක් සහභාගී වූ භරත නාට්ය වැඩමුළුව ශ්රී ලංකාවේ පැවැත්වුයේ යැයි ආණ්ඩුව ලොකු ප්රචාරයක් අරගෙන ගිය බවත් එහිදී ලෝකයේ වැඩිම පිරිසක් සහභාගී වුණු භරත නාට්ය වැඩසටහනට හිමි ගිනස් වාර්තාව ශ්රී ලංකාවට ලැබුණේ යැයි සඳහන් කළ බවත් පැමිණිල්ල කිරීමෙන් පසුව දුමින්ද නාගමුව මහතා කීය.
නියෝජ්ය අමාත්ය සුන්දරලිංගම් ප්රදීප්ගේ ප්රධානත්වයෙන්, නියෝජ්ය අමාත්ය මහින්ද ජයසිංහ ඇතුළු රජයේ ප්රභලයින් කිහිපදෙනෙක්ම මෙම වැඩසටහනට සහභාගි වී සිටි බව කී නාගමුව මහතා මෙම වැඩසටහන රාජ්ය අනුග්රහය සහිතව පැවැත්වූ බව ද සඳහන් කළේය.
අදාළ ගිනෙස් සහතිකයේ ශ්රී ලංකාවේ හෝ ලංකාවේ කිසිඳු රාජ්ය ආයතනයක හෝ ලංකාවේ පුද්ගලයෙක්ගේ නමක් නොමැති බවත් එම ගිනෙස් සහතිකයේ අයිතිය ග්ලෝබල් ඇකඩමි යන ඉන්දියානු සමාගමට සහ ලංකාවේ තියන ඒ සමාගමේ ශාඛාවට ලැබී ඇති බවත් ඒ මහතා කීය.
නියෝජ්ය අමාත්ය සුන්දරලිංගම් පෞදගලික ආයතනයක කටයුත්තකට රාජ්ය අනුග්රහය දුන්නේ කොහොමද ? කියන එක පළවෙනි ප්රශ්න වන අතර මෙම වැඩසටහනට ශිෂ්යයන් 5000ක් පමණ සහභාගි කරවමින් ඒ අයගේ පවුල්වලින් රුපියල් 5000 බැගින් විශාල මුදලක් එකතු කිරීම දෙවැනි ගැටලුව බවත් ඊට අමතරව දැන් නැවත ඒ ළමයින්ගෙන් ලෝගෝ එකකට කියා රුපියල් 3450ක් සහ සහතිකයට 2350ක් බැගින් එකතු කරන්න බවත් ඔහු පැවසීය.
මෙය පැහැදිලිවම මූල්ය වංචාවක් වන අතර අම්මලා තාත්තලා දුෂ්කර ප්රදේශවල ඉඳන් තමන්ගේ ළමයා කොළඹ අරගෙන එන්න ඇවිත් මේ දවස් කිහිපයේ කොළඹ නවතින්න ආදී වශයෙන් විශාල මුදලක් වැය කර තිබෙන බවත් සමහර පවුල්වලට රුපියල් 30,000ක් විතර මේ වැඩේ වෙනුවෙන් වියදම් කර ඇති බවත් ඔහු කීය.
අපේ රටේ මිනිස්සු මෙතරම් මුදලක් වියදම් කළාට අවසානයේ ඉන්දියානු සමාගමකට ගිනස් වාර්තාව ලැබී ඇති බව කී දුමින්ද නාගමුව මහතා පැවසුවේ එම වැඩසටහනට රාජ්ය අනුග්රහය දුන්නේ කවර පදනමකින්ද සහ අහිංසක දෙමාපියන්ගෙන් එකතුකරපු අතිවිශාල මුදල් ප්රමාණයට මොකද වුණේ කියලා රටට හෙළිදරව් කළ යුතු බවත්ය.
අල්ලස් කොමිසම සෙසු පැමිණිලි වගේම කඩිනමින් මැදිහත් වී වගකිව යුත්තන් අධිකරණයට ඉදිරිපත්කරනු ඇතැයි බලාපොරොත්තු වන බව දුමින්ද නාගමුව මහතා වැඩි දුරටත් සඳහන් කළේය.


