දේශීය පුවත්, ප්රධාන පුවත
වරාය කළමණාකාර අධ්යක්ෂ ගණකට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි
(ඔගස්ටා පෙරේරා)
ශ්රී ලංකා වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්යක්ෂ ගණක හේමචන්ද්ර මහතා ත්රිකුණාමලය වරායේ නේවාසික කළමණාකාරවරයා ලෙස කටයුතු කළ කාලයේ ජපානයෙන් ප්රදානය කළ නවීණ අධිතාක්ෂණික නියමු යාත්රාවක් පෞද්ගලික විනෝද චාරිකාවක් සඳහා යොදාගැනීමෙන් රුපියල් ලක්ෂ 200 කට අධික පාඩුවක් කර ඇති බවත් මෙම සිද්ධිය පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් පවත්වා රාජ්ය දේපළ අවභාවිතකිරීම උපදෙස් දීම සහ අලාභහානි කිරීමට යන චෝදනාවට නීතිය ක්රියාත්මක කරන ලෙස ඉල්ලමින් ත්රිකුණාමලය වරාය සේවක පිරිසක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවට ලිඛිත පැමිණිල්ලක් කර තිබේ.
වරාය අධිකාරියේ හිටපු සභාපතිවරයෙක් වන හිටපු හමුදාපති ජෙනරාල් දයා රත්නායක මහතාගේ පුත්රයා සහභාගි වූ නැගෙනහිර මුහුදේ විනෝද චාරිකාවක් සඳහා අදාල නවීණ අධිතාක්ෂණික නියමු යාත්රාව සපයා ගණක හේමචන්ද්ර මහතා එම චාරිකාවට නායකත්වය සපයා ඇති බව ද එම පැමිණිල්ලේ සඳහන් වේ.
හිටපු සභාපතිවරයාගේ පැසසුම් බලාපොරොත්තුවෙන් ගණක හේමචන්ද්ර මහතා සංවිධානය කළ එම විනෝද චාරිකාවේදී එම යාත්රාවේ රාජකාරියට නියමිත නිලධාරීන් දෙදෙනා වෙනුවට පළපුරුද්ද අඩු පුද්ගලයෙක් යාත්රාව පැදවීමට නීත්යානුකූල නොවන ලෙස යොදවා ඇති බවත් එම නිලධාරියාගේ පළපුරුද්ද අඩුවීම හේතුවෙන් යාත්රාව මාබල් බීච් ප්රදේශයේදී ගල්පරයක හැපී අනතුරට පත්වූ බවත් එහි සඳහන් වේ.
සැපයුම් කොට්ඨාසයේ මිලදී ගැනීමේ වාර්තා අනුව රුපියල් මිලියන 20 ක් හෙවත් රුපියල් කෝටි දෙකකට අධික මුදලක් යාත්රාව අලුත්වැඩියා කිරීමට අමතර කොටස් මිලදී ගැනීමට වැයවී ඇති බවත් එවැනි දැවැන්ත මුදලක් වැයකර එම යාත්රාව අලුත්වැඩියා කළ ද යාත්රාව භාවිතයට ගත නොහැකි තත්වයට පත්ව ඇති බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂණ කොමිෂන් සභාවට කළ පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් කිසිඳු ලොග් සටහනක් හෝ ලිඛිත සාක්ෂි නොතැබූ ගණක මහතා බලය පාවිච්චි කර සිද්ධිය යට ගැසූ බව ද එම පැමිණිල්ලේ සඳහන් වේ.
මෙම යාත්රාව නැවත වරක් අලුත්වැඩියා කිරීමට නාවික හමුදාව වෙත පැවරීමේ සුදානමක් පවතින බව කියන වරාය සේවකයෝ වරාය අධිකාරිය තුළ දක්ෂ ඉංජිනේරුවන් සිටියදී එහි පිරිවැය පිළිබඳ තොරතුරු හෙළිවීම වැලැක්වීම සඳහා නාවික හමුදාවට අලුත්වැඩියාව පවරණ බව සඳහන් කරති.
මෙම අපරාධය පිළිබඳව වරාය අධිකාරියේ සේවකයන් කීපවරක්ම පැමිණිළි කළ ද ගණක හේමචන්ද්ර මහතා පවතින සෑම ආණ්ඩුවකම මැති ඇමතිවරු පසුපසින් යමින් සිද්ධිය යටපත් කළ බව ද එම පැමිණිල්ලේ වැඩි දුරටත් සඳහන් වේ.


