(සාලිය සමන්)
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ දත්ත ලක්ෂ 13 ක් ප්‍රධාන පද්ධතියෙන් මකා හෝ වෙනස්කර ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (15) පැවසීය.
එම දත්ත මැකීම 2010 වසරේ සිට සිදුව ඇති බවත් ඉන් වැඩි ප්‍රමාණයක් 2022 වසරේ ඉන්ධන අර්බුදය ඇති වූ අවස්ථාවේ කර ඇතැයි වෝහාරික විගණනයකින් හෙළි වී ඇති බවත් අමාත්‍යවරයා කීය.
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ඉන්ධන ගබඩා කිරීම සහ ඉන්ධන බෙදාහැරීම් සම්බන්ධයෙන් කේ.පී.එම්.ජී. ආයතනය කළ වෝහාරික විගණනයෙන් මෙම තොරතුරු අනාවරණය වී ඇති බව ඒ මහතා කීය.
මෙම වෝහාරික විගණනයේ සම්පූර්ණ පරීක්ෂණය වාර්තාව එළඹෙන සතියේදී කේ.පී.එම්.ජී. ආයතනයෙන් ලැබීමෙන් පසුව එය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දීමට සහ අවශ්‍ය ඉදිරි නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවත් එම වාර්තාව ඉදිරි අවශ්‍ය කටයුතු වෙනුවෙන් කැබිනට් මණ්ඩලයට, පාර්ලිමේන්තුවට, විගණකාධිපති දෙපාර්තමේන්තුවට සහ නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කිරීමට බලාපොරොත්තු වන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.
2022 වසරේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලට අනුව කේ.පී.එම්.ජී. ආයතනය සහ ලංකා තෙල් ගබඩා පර්යන්තයේ අභ්‍යන්තර විගණන අංශය මෙම විගණනය කළ බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල කිරීමෙන් පසුව 2023 වසර වන විට එම දත්ත මකා දැමීම් හෝ වෙනස් කිරීම් අඩුවී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.
2022 වසරේ ඉන්ධන තොග පවත්වාගෙන යාමේ සහ ගබඩා කිරීමේ අලාභය ලෙස රුපියල් බිලියන 28 ක් වූ අතර එය 2023 වසර වන විට රුපියල් බිලියන 4 ක් දක්වා අඩුව ඇති බව අමාත්‍යවරයා වැඩි දුරටත් කීය.


