(ෂෙනික ගමගේ)
බංග්ලාදේශය එරෙහිව චැටෝග්‍රෑම් ක්‍රීඩාංගණයේ දැන් පැවැත්වෙන පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා පිලේ පිතිකරු ලැයිස්තුවේ පැවැති හිඩැස හේතුවෙන් ඕවර 48.5 කදී සියලු දෙනා ලකුණු 255 කට දැවී ගියේය.
ශ්‍රී ලංකා කණ්ඩායමට වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙක් නොමැති අඩුව මෙම ඉනිමේදී මනාව ප්‍රදර්ශනය විය. වේග පන්දු යවන්නන් ලෙස කණ්ඩායමට ඇතුළත්ව සිටින ප්‍රමෝද් මධුෂාන්, ඩිල්ෂාන් මධුසංඛ සහ ළහිරු කුමාර යන තිදෙනාගෙන් ක්‍රීඩකයෙක් වෙනුවට මෙම සංචිතයට ඇතුළත්ව සිටින චාමික කරුණාරත්න යොදාගත්තේ නම් එම හිඩැස පිරවීමේ අවස්ථාව තිබුණි.
ඇන්ජලෝ මැතිවස්ගෙන් පසුව වේග පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයාගේ භූමිකාව වඩාත් සාර්ථකව සම්පූර්ණ කළ දසුන් ශානක වැනි පන්දුව ඉහළින් ස්ථානගත කළ හැකි ක්‍රීඩකයෙක් එක්දින කණ්ඩායමේ අනිවාර්යෙන්ම සිටිය යුතුය.
අංක හත පිතිකරු ලෙස පන්දුවට පහර දුන් වනිඳු හසරංග හයවැනි කඩුල්ල ලෙස දැවීයෑමෙන් පසුව ඉනිම මන්දගාමීවීමෙන් විශාල ලකුණු සංඛ්‍යාවකට යෑමට තිබූ අවස්ථාව අහිමිවිය. දසුන් වැනි පිතිකරුවෙක් සිටියේ නම් මෙම ඉනිමේදී ශ්‍රී ලංකාවට පහසුවෙන් ලකුණු 300 ක් දක්වා යෑමේ අවස්ථාව තිබුණි.
වනිඳු දැවී යන විට ශ්‍රී ලංකා පිල ඕවර 40.4 කදී ලකුණු 221 ක් රැසකර සිටි අතර ඉන් පසුව කඩුලු හතරේදී රැස්කළ හැකිවූයේ ලකුණු 34 ක් පමණි.
බංග්ලාදේශයට එරෙහිව විස්සයි20 තරගාවලියට සහභාගි වූ දසුන්, එක්දින කණ්ඩායමේ රඳවාගැනීමේ අවස්ථාව තිබියදී උපුල් තරංගගේ සභාපතිත්වයෙන් යුත් තේරීම් කමිටුව එම අවස්ථාව මඟහැරියේය.
ජනිත් ලියනගේ දක්ෂ පිතිහරඹයක නිරත වෙමින් පන්දු 69 කින් රැස්කළ ලකුණු 61 ක ශ්‍රී ලංකා පිල ඔසවා තැබීය. ජනිත්ගේ ඉනිමට හතරේ පහර 3 ක් සහ හයේ පහර 2 ක් ඇතුළත්විය.
ශ්‍රී ලංකා පිල ඕවර 48.5 කදී සියලු දෙනා දැවී 255
(පැතුම් නිස්සංක 36, අවිෂ්ක ප්‍රනාන්දු 33, කුසල් මෙන්ඩිස් 59, ජනිත් ලියනගේ 61, ෂොරිෆුල් ස්ලාම් 51/3, ටස්කින් අහමඩ් 60/23, ටන්ෂිම් හසන් සකීබ් 44/3)


