(ප්රියදර්ශනී පෙරේරා)
කන්තලේ භරතීපුරම් ගම්මානයේ පදිංචිව සිටි නිරායුධ දෙමළ වැසියන් අට දෙනෙක් 1998 වසරේ ජනවාරි 31 වැනිදා හෝ ඊට අසන්න දිනය සන්නද්ධ කණ්ඩායමක් වෙඩි තබා මරා දැමුවේ යැයි කියන අවස්ථාවේදී එම ස්ථානයේ සිටි බවට චෝදනාවට වරදකරුවන් වූ භාරතීපුරම් පොලිස් ස්ථානයේ හිටපු ස්ථානාධිපති ඇතුළු පොලිස් නිලධාරින් පස් දෙනකුට බරපතළ වැඩ සහිතව ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබේ.
උතුරු මැද පළාත් බද පූර්වගාමි මහාධිකරණ විනිසුරු සහ කුලියාපිටිය මහාධිකරණ විනිසුරු මනෝජ් තල්ගොඩපිටිය මහතා එම දඩුවම් නියම කළේය.
චෝදනා එල්ල වී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට ද විනිසුරුවරයා නියෝග කළේය.
භාරතීපුරම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කළ පොලිස් පරීක්ෂක ආර්. එම්. රණරාජා බණ්ඩාර, උප පොලිස් පරික්ෂක ජී. එල්. සෝමරත්න, පොලිස් සැරයන්වරු වන චන්ද්රරත්න බණ්ඩාර සහ කේ.එම්. නිහාල් ප්රේමතිලක සහ අර්. ආර්. සෝමරත්න බණ්ඩාර මැදිවෙල යන පොලිස් නිලධාරීන්ට මෙසේ සිරදඬුවම් නියම වූහ.


