ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු ක්‍රිකට් කිරුළ දිනති


(ෂෙවෝන් ප්‍රනාන්දු, රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..)
ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශූරතාව මීට සුළු මොහොතකට පෙර දිනාගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාව ආසියානු ක්‍රිකට් ශූරතාවක් දිනූ පළමු අවස්ථාව මෙයයි. 2004 වසරේ සිට ආසියානු කුසලාන එක්දින තරගාවලි හතරක් සහ විස්සයි20 තරගාවලිය හතරක් ලෙස සමස්ත තරගාලිය 8 ක් පැවැති අතර එහිදී ශ්‍රී ලංකාව එක්දින තරගාවලි හතරේ අනු ශූරතාව සහ 2022 වසරේ විස්සයි20 අනු ශූරියන් බවට පත්ව සිටියේය.  
මෙවර තරගාවලියේ අවසන් මහ තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (28) පස්වරුවේ පැවැත්විණි.
එහිදී ශ්‍රී ලංකා පිල කඩුලු 8 කින් ඉන්දීය පිල පරාජය කිරීමට සමත් විය. ශ්‍රී ලංකා පිල ලකුණු 166 ක ඉලක්කය ඕවර 18.4 කදී කඩුලු 2 ක් පමණක් දැවී සම්පූර්ණ කළේය.
හර්ෂිතා සමරවික්‍රම සහ කවීෂා දිල්හාරි තෙවැනි කඩුල්ලට ලකුණු 73 ක නොබිදුණු සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණය දක්වා රැගෙන ඒමට සමත් වූහ.  
හර්ෂිතා සමරවික්‍රම පන්දු 51 කට පහර දෙමින් නොදැවී ලකුණු 69 ක් රැස්කළ අතර ඇයගේ ඉනිම හතරේ පහර 6 කින් සහ හයේ පහර 2 ක් වර්ණවත් විය. හර්ෂිතා තරගයේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.
ජයග්‍රහණයට ශක්තිමත් ආරම්භයක් ගෙනදුන් නායකා චමරි අතපත්තු පන්දු 43 කදී හතරේ පහර නවයක් සහ හයේ පහර දෙකක් ඇතුළත් කරමින් ලකුණු 61 ක් රැස්කිරීමට සමත්වූවාය.
චමරි මෙම තරගාවලිය තරග 5 කදී ලකුණු 304 ක් රැස්කරමින් තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාව ලෙස සම්මාන හිමිකරගත්තාය.
කවීෂා දිල්හාරි පන්දු 16 කින් හයේ පහර දෙකක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 30 ක් රැස්කරමිනන් ජයග්‍රහණයේ දැවැන්ත කොටස්කාරියක් බවට පත්වූවාය.  
ඉන්දීය කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඕවර 20 කදී කඩුලු 6 ට 165
(ස්මිත්‍රි මන්ධනා 60, රිචා ගෝෂ් 30, ජෙමීමා රොද්‍රිගස් 29, ශෆාලි වර්මා 16, හර්මන්ප්‍රිට් කාවුර් 11, කවීෂා දිල්හාරි 36/2, චමරි අතපත්තු 28/1, උදේෂිකා ප්‍රබෝදනී 27/1, සචිනි නිසංසලා 20/1)
ශ්‍රී ලංකා කාාන්තා ක්‍රිකට් කණ්ඩායම ඕවර 18.4 කදී කඩුලු 2 ට 167
(චමරි අතපත්තු 61, හර්ෂිතා සමරවික්‍රම නොදැවී 69, කවීෂා දිල්හාරි නොදැවී 30, දීප්ටි ශර්මා 30/1) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.