දේශීය පුවත්, ප්රධාන පුවත
යෝෂිතට ගිනිඅවි 7 ක් දීමගැන විමර්ශනයක්
(ඔගස්ටා පෙරේරා)
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්රයා වන යෝෂිත රාජපක්ෂ මහතා වෙත ගිනිඅවි 7 ක් නිකුත් කර තිබූූ බවත් එවැනි ගිනිඅවි සංඛ්යාවක් ඔහුට නිකුත් කළේ ඇයි දැයි විමර්ශනයක් ආරම්භ කරන බවත් ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාෂල්, සම්පත් තුයියකොන්තා මහතා පැවසීය.
ඔහුගේ ගිනිඅවි හතෙන් පහක් මේ වන විට භාරදී ඇති බව කී ආරක්ෂක ලේකම්වරයා ඔහු සතුව තවත් ගිනි අවි දෙකක් පවතින පැවති සඳහන් කළේය.
ඔහු සතුව වැඩිපුර තිබෙන ගිනිඅවිය භාරදෙන ලෙස දැනුම් දී ඇති බවත් ඉතිරි ගිනිඅවිය ද පරීක්ෂණයකින් පසුව භාරදීම හෝ නොදීම තීරණය කරන බවත් ඒ මහතා කීය.
ජීවිත ආරක්ෂාව සඳහා විවිධ පුද්ගලයන්ට දී ඇති ගිනිඅවි සම්බන්ධයෙන් කළ විගණනයේදී බලපත්රලාභී පුද්ගලයන් 1,550 කට නිකුත් කර තිබූ ගිනිඅවි 1,697 ක් හඳුනාගත් බවත් එම ගිනිඅවිවලින් 1,368 ක් රජයට භාරදී ඇති බවත් තුයියකොන්තා මහතා සඳහන් කළේය.
ඒ අනුව බලපත්රලාභී ගිනිඅවි 182 ක් මේ දක්වා රජයට භාරදී නොමැති බව සඳහන් කළ තුයියකොන්තා මහතා ඇතැම් පුද්ගලයන්ට ගිනිඅවි එකකට වඩා නිකුත් කළ අවස්ථා ද ඇති බව සඳහන් කළේය.
එම පුද්ගලයන්ට ගිනිඅවියක් අවශ්ය යැයි බුද්ධි අංශ තහවුරු කළහොත් පමණක් ඉදිරියේදී ඔවුන්ට ගිනිඅවි නිකුත් කිරීම කරන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


