වරාය ස්වාභාවිකව මරන්න හදනවා

(සජිත් චමින්ද) ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වර්තමාන පරිපාලන කොළඹ වරායට ස්වාභාවික මරණයක් අත්කරදීමට අවශ්‍ය කටයුතු කරමින් සිටින බවත් වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ සම කැඳවුම්කරු ශ්‍යාමාල් සුමනරත්න මහතා ඊයේ (5) පැවසීය. වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය කොළඹදී අද (5) පැවැත්වූ මාධ්‍ය හමුවේදී ශ්‍යාමාල් සුමනරත්න මහතා එසේ කීය. වරාය අධිකාරිය පත්ව ඇති තත්වය පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දැනුවත්ව සිටින්නේ දැයි සැකයක් ඇති බව ද ඒ මහතා කීය. වර්තමාන ආණ්ඩුව යටතේ වරාය අධිකාරියේ පරිපාලනයක් නොමැතිව අයාලේ යන තත්වයක් උද්ගතවී ඇති බව කී සුමනරත්න මහතා මෙම තත්වය පිළිබඳව දැනුවත් කිරීම සඳහා වරාය විෂය භාර අමාත්‍ය බිමල් රත්නායක මහතාට සහ නියෝජ්‍ය අමාත්‍යවරයාට ලිපි 6 ක් යොමු කළ ද අවම වශයෙන් ලිපි ලැබුණ බවට හෝ කිසිඳු ප්‍රතිචාරයක් නොලැබුණු බව ද සඳහන් කළේය. කොළඹ වරායේ නැගෙනහිර බහලු පර්යන්ථයේ ව්‍යාපෘති අධ්‍යක්‍ෂ ලෙස කටයුතු කළ වරාය අධිකාරියේ වර්තමාන කළමණාකාර අධ්‍යක්‍ෂවරයා එම තනතුරෙන් ඉවත්කිරීමට අමාත්‍යවරයා පසුගියදා ගත් තීරණය අගය කරන බවත් වරාය සහ නාවික කටයුතු පිළිබඳව හසල දැනුමත් තිබූ වරාය අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයෙක් ඉවත්වීම පිළිබඳව ද අමාත්‍යවරයා අවදානය යොමුකළ යුතු බවත් ඒ මහතා කීය. ජනතා විමුක්ති පෙරමුණ සම්බන්ධ වෘත්තීය සමිතිය වරායේ එකම වෘත්තීය සමිතිය නොවන්නේ යැයි වරාය අමාත්‍ය බිමල් රත්නායක මහතා මතකයේ තබාගත යුතු බව කී සුමනරත්න මහතා ඩොලර් බිලියනයක් වැයකර ඉදිකළ නැගෙනහිර පර්යන්තය රැකගැනීමට දිවිහිමියෙන් කටයුතු කරන්නේ යැයි පාලකයන්ට මතක් කරන බව ද සඳහන් කළේය. ශ්‍රී ලංකා වරාය අධිකාරියේ වර්තමාන කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ප්‍රමුඛ පරිපාලනය කොළඹ වරාය නැගෙනහිර බහලු පර්යන්තය මෙම මස 30 වැනිදා වන විට විවෘත කළ හැකි යැයි ජනාධිපති අනුර කුමාර මහතා රවටා ඇති බවත් එම පර්යන්ථය තවත් වසර එකහමාරකින්වත් විවෘත කළ නොහැකි බවත් ශ්‍යාමාල් සුමනරත්න මහතා කීය. වරාය සේවකයන් දිවිහිමියෙන් රැකගත් නැගෙනහිර බහලු පර්යන්තයේ ඉදිකිරීම් නියමිත පරිදි ක්‍රියාත්මක කළේ නම් ලබන සැප්තැම්බර් මස වැඩ අවසන් කිරීමට නියමිතව තිබූ බව කී සුමනරත්න මහතා පැවසුවේ වර්තමාන ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව පත්කළ වරාය අධිකාරියේ කළමණාකාර අධ්‍යක්‍ෂවරයා ප්‍රමුඛ පරිපාලනයේ ක්‍රියාකලාපය හේතුවෙන් මෙම තත්වය උදාවූ බවයි. විජිත හේරත් මහතා වරාය ඇමතිවරයා ලෙස පත්කළ කළමණාකාර අධ්‍යක්‍ෂවරයා පරිපාලනය නිලධාරීන් මාරු කිරීම සහ ටෙන්ඩර් අවලංගු කිරීම ආදි පර්යන්තයේ ඉදිකිරීම් අඩපණ කිරීමට කළ කටයුතු හේතුවෙන් නැගෙනහිර පර්යන්ථය කටයුතු ආරම්භ කිරීමට තවත් වසර කීපයක් ගතවනු ඇති බවත් එසේ වුවහොත් නැව් සමාගම් කොළඹ වරාය අතහැර දැමීම වැලැක්විය නොහැකි බවත් ඒ මහතා කීය. නැගෙනහිර බහලුම් පර්යන්ථයේ බහලුම් ක්‍රියාකාරකම් සඳහා අනිවාර්යෙන් තිබිය යුතු උපකරණ වන ‘ස්ට්‍රැඩල් කැරියර්’ මිලදීගැනීමට කැඳවා තිබූ ටෙන්ඩරය වර්තමාන පරිපාලනය පත්වීමෙන් පසුව අවලංගු කළ ද මේ දක්වා එම ටෙන්ඩරය කැඳවීමට හෝ කටයුතු කර නොමැති බව කී සුමනරත්න මහතා එම උපකරණය හිටිහැටිය ඇනවුම්කළ නොහැකි එකක් වීම නිසා එය ලබාගැනීමට අවම වශයෙන් දින 200 ක් ගතවනු ඇති බවත්ය. නැගෙනහිර පර්යන්තය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පරිගණක පද්ධතිය, ප්‍රවාහන උපාංග, පුහුණු සේවකයන් බඳවා ගැනීම ඇතුළු බොහෝ දේ ඉටුකර නොමැති අතර කළමනාකාර අධ්‍යක්‍ෂවරයා වෙනස් කළේ යැයි කියන එම පර්යන්ථයේ මාර්ගයේ කටයුතු වරාය නියෝජ්‍ය අමාත්‍යවරයා පත්කළ කමිටුවක නිර්දේශයක් මත මේ වන විට නැවතී ඇති බව ද ඒ මහතා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses cookies to offer you a better browsing experience. By browsing this website, you agree to our use of cookies.