දේශීය පුවත්
‘මාලිමාව’ට සහය දැක්වූ කොළොන්නාවේ සජබ මන්ත්‍රීගේ පක්ෂ සාමාජිකත්ව අත්හිටුවයි
(සජිත් චමින්ද)
කොළොන්නාව නගර සභාවේ සභාපතිවරයා පත්කිරීමේ ඡන්දයේදී ජාතික ජනබලවේගයට සහයෝගය දැක්වූ සමගි ජන බලවේගයේ මන්ත්‍රී සුසිල් කුමාර කොස්තා මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවූ බව එම පක්ෂයේ මහ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර මහතා පැවසීය.
සමගි ජන බලවේගය පක්ෂ කළමනාකරණ කමිටුවේ සහ පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ තීරණයට අනුකූලව කොළොන්නාව නගර සභාවේ සභාපති සහ උපසභාපති පත්කිරීමේදී කටයුතු නොකිරීම හේතුවෙන් සුසිල් කුමාර කොස්තා මහතාගේ පක්ෂ සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටවූ බව ද ඒ මහතා පැවසීය.
කොළොන්නාව නගර සභාවේ නව සභාපතිවරයා සහ උප සභාපතිවරයා තෝරාගැනීම සඳහා අද (18) පෙරවරුවේ පැවැති රැස්වීමේදී එහිදී විපක්ෂයේ සියලුදෙනා සභාවෙන් පිටව යද්දි සුසිල් කුමාර කොස්තා මහතා පමණක් සභාවේ රැඳී සිටිමින් ජාතික ජන බලවේගයට සහාය දැක්වීම හේතුවෙන් කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිවිය.
එහිදී කොළොන්නාව නගර සභාවේ සභාපති ධුරයට ජාතික ජන බලවේගයේ ධම්මික විජයමුණි මහතා තේරීපත්වූ අතර උප සභාපති ධුරයට සමන් සෙනෙවිරත්න මහතා පත්විය.


